Posts

Showing posts from January, 2012

අපිට අපි අහිමි වුනු හැටි - දෙවන දිගහැරැම

අන්තිම බස් එකත් කන්ද සැර දාගෙන නගින සද්දෙට බාගෙට පියැවිලා තිබිච්චි එයාගෙ ඇස් ආයෙම පණ ගත්තා. බලාපොරොත්තුවේ නිහඬ සිසිල් සුළඟ ආයෙමත් ඔච්චමට වගේ නළල් තලයට වැටිලා තිබුණු පොඩි කෙස් රොද ඉහළට එසෙව්වා. කලින් ඈත පොල් ගස් අස්සෙන් මල හිරැ බහිනවා දුටුවත් දැන් ඒ හිරැත් පේන්න නෑ. අඳුර අතරින් කන්ද දිගේ ඇදෙන ලංගම බස් රියේ ඉදිරිපස විදුලි ලාම්පු එලියෙන් ඉස්සරහ එහෙ මෙහෙ පියාඔන කෘමි සතුන් දිලිහි දිලිහි පේනවා.

ලමයයි එයාගෙ අම්මයි බසය නැවතුමේ නතර කරන්න කලින් සිමෙන්ති බංකුවෙන් නැගිටලා බලාගෙන හිටියෙ බහින සෙනඟ දිහා. අන්තිම බසය නිසා වැඩියෙ සෙනඟ හිටියෙ නැති වුනාට කලුවර නිසාත් පා පුවරැවෙ ලාම්පුවෙන් එන එළියෙන් හැදෙන සෙවනැලි නිසාත්  පැහැදිලිව අඳුන ගන්න බෑ කී දෙනෙක් බැස්සද කියලා.

අම්මගෙ කර ගාවට උස වුනාට පාර මාරැ වෙලා එන අය හින්දා එයාට හරියට පෙනුනෙ නෑ බහින අනිත් අයව. ඇඟිලි වලින් ඉස්සෙද්දිම වගේ බසයත් යන්න සැර දැම්මා. අන්තිම මගියත් තමා බලාපොරොත්තු වුනු කෙනා නෙමෙයි කියලා ලමයා දැක්කා. ඉහළට එසවුනු විලුඹ ආයෙම පාත් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.

                                 "අම්මෙ, අද තාත්තා එන එකක් නෑ. අපි යං"

ලමය…

අපිට අපි අහිමි වුණු හැටි - පළමු දිගහැරැම

අන්තිම දවස තමයි එදා. මූසල බව ගේ පුරාම විතරක් තිබුන නම් හිත හදා ගන්න තිබුණා. ඒක මුදුල පුරා විතරක් නෙමේ අපේ මූණූ වලටත් ඇවිත්. අම්මගෙනුයි මං මුලින්ම දැක්කෙ. එයා බෑග් එකට රෙදි අස් කරද්දි වෙනදට පිටිපස්සට පිරලා තිබුණු ඉස කෙස් මූණෙ පැත්තක් වැහෙන්න ම අවුල් වෙලා. මම දන්නව එහෙම වෙලා තියෙන්නෙ හුළං පාරට නෙමෙයි. එයා එහෙම හදාගෙන. අනිත් අයට ඇස් පේන්නැති වෙන්න.

නංගි ටූත් බේස්ට්ටුයි සබන් කෑල්ලයි දාලා තියන කවරෙට අත දාලා ඒවා ආයෙම එළියට ගනිද්දි සිලි කවරෙන් ඇහෙන සද්දෙට අම්මා අතට ගත්ත කාකි යුනිෆෝම් එක තියලා තට්ටමට සද්දෙ ඇහෙන්නම පාරක් දුන්නෙ නංගිට වුනාට ඒකෙන් වැඩියෙන්ම රිදුනෙ තාත්තට. නංගිව ඇඳෙන් වඩාගෙන සාලෙට ගියේ ඒ හින්දා.

හෙට තාත්තා යනවා කියලා අයියා මට කිව්වෙ ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බත් කද්දි. මම දවස් ගනන් කරගෙන‍යි හිටියෙ. එයත් ගනන් කරන්න ඇති. එයා අද ඉස්කෝලෙ ගියේ තරහෙන්. ඊයෙ රෑ කොච්චරනම් එයා බෑ කිව්වද අද ඉස්කෝලෙ යන්න. හොඳ වෙලාවට අපේ විභාගෙ ඉස්සල්ලා තිබුනෙ. නැත්තං මාත් අද ඉස්කෝලෙ.

දවස් දහයක නිවාඩුවක් තාත්තට හම්බ වෙන්නෙ දවස් හතලිස් පහක් වැඩ කලාම. ඒකෙනුත් දවස් දෙකක් එන්නයි යන්නයි යනකොට ගෙදර ඉන්න ඉතිරි වෙන්නෙ …