21 October 2012

මගේ මැණිකේ..

 එදයි අදයි අතරෙ ලොකු වෙනසක් නෑ නේද මැණිකෙ.මං කිව්වෙ අපේ  ආදරේ ගැන.හැබැයි අනිත් හැමදේම වගේ වෙනස් වුනා ඒ ආදරේ ඇර. එදා කිව්වට ගොඩක් ලොකු කාලයක්  නෙමේ වුනාට අවුරුද්දක් විතරම වගේ අපි ඈත් වෙලා හිටියා. ඈත් වුනා කිව්වෙ ළඟින් හිටියෙ නෑ කියල නෙමෙයි ඔන්න. ඔයා ගැන කිසිම තොරතුරක් ආරංචියක් නැතුව, ඔයාව ඇස් දෙකට පේන්න නැතුව ඒ කාලෙ හිටියෙ ගොඩක් අමාරුවෙන්. ඒක අමාරු වැඩක් වුනේ වෙන මොකුත් නිසා නෙමෙයි මැණිකෙ, අපි ගොඩක් ළං වෙලානෙ හිටියෙ ඒ දවස් වල. අනික අපි ඈත් වුනෙත් හිතුවෙවත් නැති විදිහට හදිස්සියෙමනෙ.


                                  



 ඔයාට මතකද මැණිකෙ පන්ති ඇරිලා ඔයා එක්ක ගෙදර ළඟට වෙනකන්ම එනවා.ඒ ඔයාව ඇරලන්න වුවමනාවට නෙමේ.කොහොමත් ඔයාට තනියම ගෙදර යන්න බැරිකමක් තිබුණෙ නෑනෙ මැණිකෙ. ඔයා ළඟින් ටික වෙලාවක් හරි ඉන්න මම ආස කලා. මොනාහරි දේකට හයියෙන් හිනා වෙනකොට ඔයාගෙ ඇස් දිළිහෙන හැටි බලන්න මං ආස වුනා. මං  ඔයාට හැමදාම කියනව වගේ මිනිස්සු වෙන අපි හැමෝම මේ ජීවත් වෙන්නෙ හිතේ තියන හැඟීම් විඳගන්න,විඳින්න කියල. ඉතින් මාත් ඔයා ළඟට වෙලා ජීවත් වුනා ඒ මොහොතෙ.


ඇත්ත, ඒ ‍වෙනකොට ඔයා මගේ වෙලා තිබුණෙ නෑ. ඒ වුනත් මම ඔයාගෙ වුනා මැණිකෙ. ඔයා දැන හෝ නොදැන මං ඔයාව මගේ කරගත්තා. ඒ වෙනකොට ඔයාට මාව වදයක් වෙලා තිබුණා කියලා මම මේ ළඟදි දැනගත්තා. එහෙම වුනු බව මං ඒ කාලෙම දැනගත්තනම් ගොඩක් සතුටුවෙයි. මොකද දන්නවද ඒ කාලෙ මං හිතාගෙන හිටියෙ මැණිකෙ මාව පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ කියලා. කොහොම වුනත් අන්තිමේදි ඔයා මගෙ වුනානෙ මැණිකෙ.


                                               නුඹ දුන්නු තනි තරුව යහන ළඟ ඉකි බිදී..

                                              කඳුළු අතරින් තරුව පවසමියි මෙසේ මට

                                              ඈ වෙනස් වූ නමුදු නුඹ වෙනස් නොවූයේ

                                              ඇයට බැඳි ආදරය අඩු නොවූ නිසාදෝ....

මැණිකෙට මතකද මේ කවිය.අමතක වෙන්න විදිහක්නම් නෑනේද කොහොමටවත්.මොකද ඒ තරමටම මේ වචන ටික අපේ ජීවිත වලට බැඳිල තියෙන්නෙ.එක සීතල රෑක ඇඳේ වාඩිවෙලා ඔයා ගැන හිත හිත ඔයා දුන්නු අර බිත්තියෙ අලවන්න පුළුවන් තරුව දිහා බලාගෙන හිතට ඒ වෙලේ ආපු වචන ටිකක් ගලපලා ලියපු මේ කවියට ඔයා ගොඩක් ආසා කලා.

මම මේ වෙනකන් දන්නෑ ඔයා ඇයි මේ කවියට ඒ තරමටම ආසා කලේ කියලා.මේ පද වලින් කියවෙන තේරුම ඔයා දන්නව කියලා මං දන්නවා. එහෙම තියෙද්දිත් මේ කවිය ඔයාට කියවන්න දුන්නු පළවෙනි දවසෙම අනිත් නිසදැස් වලට වඩා ඔයා මේ කවියට ආසා වුනා.

මම අහන්නෑ ඇයි එහෙම වුනේ කියලා.සමහර විට එහෙම ඇහුවොත් මැණිකෙට එකපාරටම උත්තරයක් දෙන්නත් බැරිවෙයි.

ඒ කවිය ඔයා වෙනුවෙන් මම ලිව්වෙ ඇයි කියල අදටත් මම දන්නෑ. සමහර විට ඒ ඇයි කියලා හිතන්න මම කැමති නැතුව ඇති. මොක වුනත් එදා වගේම මම ඔයාට ආදරෙයි. හැම මොහොතකම ඒ ආදරේ ඔයා වෙනුවෙන්මයි මගේ වස්තුවේ..

තව ගොඩක් දේවල් හිතේ එකතු වුනා මේ ලිවුම ලියලා ඉවර කරන්න හදනකො‍ට.ඒ හැමදේම මට මැණිකෙට කියන්න ඕනි. ඉතින් මගෙ පණ මම දැන් නවතිනවා. ආයෙම ලියන්නම් මම. බුදු සරණයි මගෙ මැණිකේ. මම හැමදාම කියනව වගේ සතුටින් ඉන්න.

                                                                     මේ ඔයාගෙම,
                                                                                 පණ..
                                                                                      .
.