16 July 2012

ඔහු කවියෙකුද විය.

තාත්තාගෙ දිනපොත් පෙරලලා බැලුවා පහුගිය දවසක. බලන්න කලින් අවසර ගන්න එයා ළග නැති නිසා අම්මාගෙන් අහලා අවසරේ ගත්තා. දෙමළෙන් ලියපු දිනපොත් ගොඩක් තිබුනත් සිංහලෙන් ලියලා තියන පොත් දෙක පිටුවක් නෑර කියෙව්වා. දුකක් විතරක් හිත ඇතුලෙ හිරවුනා වගේ දැනුනා කියෝලා ඉවර වුනාම. 

මේ නිදසැස් ඒ පිටු අතර සටහන් වෙලා තිබුනා.




අද නිදහස් දවසලු
සිංහ කොඩිත් උස්සනවලු

දමා පපුව පෙරට,
සිට ගෙන සීරුවට
ගයනවලු ජාතික ගීය

අපි හිරේ..
අපිට කොයින්ද ඒ වගේ ජොලියක් !


1997 පෙබරවාරි මස 4 වන දින පලාලි පොලිස් මුරපොලේ දී.



____________________________________



ගම්මානේ කෙලවරේ
නිල් විලේ නෙළුම් මල
     සැඩ හිරුට ඉඩ දෙමින්___යන්න යයි
සුදෝ සුදු කුමුදු මල්

අබල දුබල වූ දිනපති
සීතල වූ මහ පොළොව උඩ
වැතිරුනා අමාරුවෙන්

වසන්තයේ අරුණෝදය
ගෙවී යයි හෙමි හෙමින්
ඉකිබිඳිති
දුක හිතුනු වැහි බිංදු මහ පොළොව වසා ගෙන

මල් සුවඳක් නම් නොව
කවර අතකින් එම් ද මේ සුවඳ
වැටහුනේ දැනුයි මට
බඩ ගින්නේ වැලි කතරේ
උතුරු රණ බිම මැද්දේ
යුද වදින විරුවන්ගේ
ලේ කඳුළු දා බිංදු
සුවඳමයි මේ එන්නේ


________________________________



 නිමා නොවන යුද්ධයකි
මේ___
තැලෙන්නේ කවුද
 මගේ දරුවන් මිසක
ගැහැණු දෙදෙනෙකුට මැදි වූ මිනිසා තරම්
දුක් විඳින අයෙකු
    මිහිපිට ඇත්ද___

එක් අතකින් අම්මා
අනිත් අතින් මගේ බිරිඳ


_____________________________________________




(යාළුවනේ සමාවෙන්න ඔයාලගෙ බ්ලොග් කියවන්න එන්නෙ නැති එකට.මේ දවස් වල වැඩ ගොඩයි.වෙලාවක් ලැබුනහම අනිවාර්යෙන් එන්නම්)


11 comments:

  1. "එක අතකින් අම්මා
    අනිත් අතින් මගේ බිරිඳ"

    කොයි තරම් විශිෂ්ඨ පරිකල්පන ශක්තියක් තියන කෙනෙක්ද ඔයාගේ තාත්තා....අනර්ඝයි

    ReplyDelete
  2. ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත එයාගේ තාත්තා පස්සේ කාලේ ප්‍රකාශයට පත් කළා වගේ ඔයාගේ තාත්තගේ දිනපොතත් "රණවිරුවෙකුගේ දිනපොතක්" කියලා ප්‍රකාශයට පත් කරන්න ඔයාටත් පුලුවන් වේවි. එතකොට පොත් දෙකයි

    ReplyDelete
  3. මම මේ බ්ලොග් එකට වැඩිය ඇවිල්ලා නැතුව ඇති... දෙමළෙන් ලියන්නේ තාත්තා දෙමළ ජාතිකයෙක්ද? ඉතුරු කවිත් දිගටම දානවානම් කියවන්න ආසයි...

    ReplyDelete
  4. ඔයාගේ තාත්තා දක්ෂයෙක්.කලින් වගේ කතා පොත් නැද්ද තව?

    ReplyDelete
  5. සුපිරි කවි පෙළක් නොවැ ...

    ReplyDelete
  6. හරිම අගනා,මිනිසත්කම ගැබ් උන පද පේලි..!!!!

    ReplyDelete
  7. ස්තූතියි අදහස් දක්වපු හැමදෙනාටම.

    @Beetle තාත්තා සිංහල ජාතිකයෙක්.යුද්ධෙ තිබුනු කාලෙ අවුරුදු 6ම හිටියෙ යාපනේ ඉතින් එහෙ ඉද්දි දෙමළ භාෂාව ඉගෙනගත්තා.එහෙදි දිනපොතේ ලියලා තියෙන්නෙ දෙමළින්. තව තාත්තාගෙ දිනපොත් වල කවි ලියන්නම්.ස්තූතියි මේ පැත්තෙ ආවට

    @නිශාන් තව කතා පොතක් තියනවා අයියේ ඒත් ඒකෙ පරිවර්තනය ඉවර කරල නෑ තාත්තා.මම ඒක කරන්න හිතන් ඉන්නෙ.ඒකත් ඉක්මනින්ම කියවන්න ලැබෙයි අයියලට

    ReplyDelete
  8. මල්ලිගේ තාත්තා වගේ මිනිස්සු මේ රටට වාසනාවන් මල්ලියෝ!
    තාත්තාට සම්පූර්ණ කරන්න බැරි වුන ඒවා මල්ලි සම්පූර්ණ කරන්න.තෙරුවන් සරණයි!

    ReplyDelete
  9. පලවෙනි කවියට මගේ හිත වැඩියෙන්ම ගියේ මලයා.. ගොඩක් ලොකු ඇත්තක් ඒක කියලා තියෙනවා..

    ReplyDelete
  10. මල්ලිගෙ තාත්තත් යස කවියෙක් වගේනේ? මටත් ආස හිතුනේ මුල් එකට.. කෙටි උණත් ලස්සනයි.

    ReplyDelete
  11. තාත්තා සොඳුරු මනුස්සයෙක් කියන්න මේ ටික ඇති. කලාතුරකින් තමයි ඔය වගේ කෙනෙක් ගැන මම අහන්නේ.

    ReplyDelete

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

.