26 May 2012

මරණයට අයදුමක් -1 වන පරිච්ඡේදය

වුරැදු කීපයකට කලින් තාත්තා උතුරැ යුධ බිමේ ඉන්න කාලෙදි එවපු පොතක් මං ළඟ සුරැකිව තිබුණා.
ඒක තැපෑල් මාමා ගෙනත් දුන්නු දවස අද වගේ මතකයි මට. අයියයි මායි ලොකු පොරයක් ඇල්ලුවා පාර්සලය ගන්න.

සුපුරැදු විදිහට එයා දිනුවා. මම ඒක ලිහනකන් බලාගෙන හිටියා. ඒකෙ ලියුම් හතරක් එක්ක තිබුනෙ මේ පහළ තියන පොත.
පොතේ උඩින්ම " මගෙ ලොකු පුතාට තාත්තියාගෙන් තෑග්ගක්  " කියලා ලියලා තිබුණා.

මට නෙමේ අයියටයි පොත.
එදා දුක හිතුණත් පස්සෙ තාත්තා නිවාඩුවට ඇවිත් කිව්වා ඊළඟ පොත මට කියලා.





තාත්තා යාපනේ රැකියාව කරන කාලෙදි දෙමළ භාෂාව ඉගෙන ගත්තා. ඒ දැන් කාලෙ වගේ පඩිය වැඩි කරගන්න නෙමේ. එයාට තිබුණා මොනවා හරි ඉගෙන ගන්න ආසාවක්. ඒක නිසාම තමා දෙමළ ඉගෙන ගත්තෙ.

නිවාඩුවට ගෙදර ආවහම වුනත් දෙමළ කියලා දුන්නා පුළුවන් වෙලාවට. මම හුඟක් පොඩි එතකොට. නොතේරැණත් මාත් ඉගෙන ගන්න උත්සහ කලා.

අයියයි මායි පොඩි කාලෙ ඉඳලම පොත් කියවන්න ආසයි. ඒකත් පුරැදු කලේ තාත්තා. අද වුනත් ගෙදර ඉන්නවනම් කෑම කන්නෙ පොතක් පෙරලගෙන.
පොත අපි කියෝලම දැන් ගන්න දෙයක් නෑ. පේනවනෙ හැටි.



මේ පොත තාත්තා පරිවර්තනය කරපු එකක්. මුල් පොත දෙමළ පොතක්. මුල පොතේ පිටකවරෙ ෆොටෝ කොපි කරලයි තියෙන්නෙ. තාත්තා මේ පොත සිංහලට පරිවර්තනය කලේ අපිට කියවන්නම හින්දා නෙමේ. කවදා හරි මුද්‍රණය කරන්න ආසාවකුත් හිතේ තිබුණා.

තවත් පොතක් පරිවර්තනය කරමින් ඉද්දියි එයා හදිසියෙම යන්න ගියේ.

මොන විදිහෙ කතාවක්ද තියෙන්නෙ කියලා නොකියා ඉන්නයි තීරණය කලේ මම. ඒකට කමක් නෑනෙ.

තාත්තාගෙ පරිවර්තනය ඒ විදිහටම ලිව්වා. වෙනස් කලේ නෑ. මේ පළවෙනි පරිච්ඡේදය.
මොනවගේ දෙයක් ඊළඟට වෙයිද කියලා හිතලා කියන්නකෝ.
------------------------------------------------------------------------------------------------------------------------




ස් රථය ශෙක්කල් මූඩි බස් නැවතුම් පලට ළඟා වන විට සවස හය පසුවී තිබිණි. හිරැ තම දුබල රැස් තමා තුලටම ඇදගත් හෙයින් ඒ වතුකරය අළු පාට අහසින් බරව තිබිණි. බස් රථය නැවතිණි. කොන්දොස්තරගේ රළු හඬ බස් රථය පුරා රැව්දිනි.

                       " කවුද ශෙක්කල් මූඩි වලින් බහිනව කීවෙ..... ඉක්මනට බහින්න " 

ඉදිරි අසුනක වාඩි වී සිටි පවිත්‍රන් තම දෙපා අතරින් තිබූ බ්‍රීෆ් කේසය අතට ගෙන මගීන් අතරින් ගමන් කරමින් පා පුවරැවට පැමිණියේය.

කොන්දොස්තරවරයා කෝප වූ බවකි.
        " ඉක්මනට එනවා මහත්තයා... හරියට මනමාලය වාගේ එනව හෙමි හෙමීට. එක්කෙනෙකුට මෙච්චර වෙලා බස් එක නවත්තගෙන ඉන්න බෑ....... "
        " සමාවෙන්න.... මම මේ පැත්තට ආව පළවෙනි වතාව. කොතනද බහින්නෙ කියලා දන්නෙ නැතුවයි වාඩි වෙලා හිටියෙ. "
        " හරි හරි ඉක්මනට බහිනවා... තව කතා කරන්න ගියොත් තවත් වෙලා යයි"
පවිත්‍රන් බසයෙන් බිමට බැස්සේය.

        " හරි හරී............... "

බස් රථය දුම් වලාවක් පිට කරමින් සිය ගමන ඇරඹීය. පවිත්‍රන්  සිය දෑත් එකට අතුල්ලා සීතල පලවා හැරීමට උත්සහ කරමින් වට පිට බැලුවේය.

ශෙක්කල් මූඩි කැළෑබද ප්‍රදේශයක් සේ ඔහුය දිස්විනි. අඳුර වැටෙමින් තිබූ මුළු ප්‍රදේශය පුරාම අසාමාන්‍ය නිහඬ බවක් පැතිර තිබිණි. විටින් විට මඟ යන යන එන්නවුන් හා අතරින පතර නිවෙස් කවුළු තුලින් පෙනෙන මිනිස් හැඩරෑ හැරැන කොට ඒ මඟෙහි වෙනත් කිසිවකු නැත. පවිත්‍රන් සිය බ්‍රීෆ් කේසයද රැගෙන ගමන් ඇරඹීය.

මද දුරක් එපිටින් වූ පෙට්ටි කඩයක් හා ඒ අසල එල්ලූ දැල්වෙමින් තිබූ හරිකේන් ලාම්පු එළය දුටු පවිත්‍රන් හට සිගරැට්ටුවක් ඉරීමේ ආශාවක් උපන්නේය.

ඔහු කඩය බලා ගමන් ඇරඹීය.

ඒ හැන්දෑ යාමයේ ශෙක්කල් මූඩි වෙත පැමිණි පවිත්‍රන් වයස අවුරැදු 28 ක තරැණයෙකි. සිනමා නළු සත්‍ය රාජන් ගේ උසත් ඇත් දළ පැහැති දැකුම්කළු ශරීර වර්ණයත් උමාර් ෂෙරීප් ගේ උඩු රැවුල බඳු ඝණ උඩු රැවුලත් ඔහුගේ මුහුණට ගෙන දුන්නේ ප්‍රිය මනාප පෙනුමකි.

තද රෙද්දකින් මැසූ කලිසමත් වටිනා කමිසයත් කිලෝ පනස් හතක් වූ ඔහුගේ සිරැරට මනාව ගැලපිනි.

පවිත්‍රන් පෙට්ටි කඩයට ගොඩවිනි. කෙසෙල් කැනකට එපිටින් වීදුරැ කබඩය අසල ස්වීටයකින් හා ගෙල වටා එතූ මප්ලයකින් සැරසුනු මිනිසෙකු තම දෑත් උදරය මත රඳවා ගනිමින් තමා දෙස බලා සිටිනවා ඔහු දුටුවේය.

හරිකේන් ලාම්පුව අසල බිම සිගරට් දැල්වීමට සකස් කරන ලද දුබල එළියෙන් විහිදුවන පහනකි.
        "පිර්ඩර් සිගරට් තියනවද? " පවිත්‍රන් ඇසුවේය.
මහළු මිනිසා අමනාපයෙන් මෙන් හිස සැලුවේය.

                  "වෙන මොනවද තියන සිගරට්"

                 "සාමිනර්" 


හරි දෙන්න කියමින් පවිත්‍රන් හිස සැලුවේය.  හේ මාරැ කාසි කීපයක් කඩ හිමියාට දී සිගරැට්ටුව අතට ගෙන දුබල එළියට අල්ලා එයට ගිනි ආරෑඪ කර ගත්තේය. එය හොඳින් දැල්විණි. මුව පුරා දුම්උගුරක් උරා පිටකල පවිත්‍රන් මහළු කඩ හිමියා දෙසට හැරැනේය.
        " ලොකු උන්නැහේ.... "
        " ම්හ්.... "
        "කුරුදියාරු වත්තට කොයි පාරෙන්ද යන්නේ...?? "
මහල්ලාගේ මුහැණ වෙනස් විනි.
        "කුරුදියාරු වත්තට"
         " ඔව් "
        " එහෙ මොකටද යන්නෙ... "
        " රුද්‍රා මහත්තයා හම්බ වෙන්න "
මහල්ලා තමන් වාඩිවී සිටි බංකුවෙන් සෙමින් නැගී සිටියේය. මදක් වෙව්ලන සුළු හඬින්.

        " මල්ලී උඹේ නම මොකක්ද....? ගම කොහෙද? "
        " මම පවිත්‍රන් චෙන්නායි වල ඉඳලා.. "
        " ඇයි රුද්‍රා මහත්තයා හම්බ වෙන්න යන්නෙ..? "
 " එයාගෙ වත්තට සුපවයිසර්  කෙනෙක් ඕනැයි කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා; ඒකයි කෙලින්ම ඇවිත් කතා කරලා යන්න ආවේ. "
                " ඇයි ලොකු උන්නැහේ...... "  

 මහල්ලාගේ කට හඬේ වෙව්ලීම වැඩි වූ සෙයකි.

                 "උඹ කසාද බැඳල ද? "

                 " නෑ...."

        " චෙන්නායි වල උඹට රස්සාවක් හොයා ගන්න බැරිද; තව ටික වෙලාවකින් පොල්ලච්චි යන බස් එක මෙතන්ට එනවා. ඒකෙ නැගල පලයං "
 පවිත්‍රන් ඔහුගේ කතාවට පුදුමයට පත් විය.
        " ඒ ඇයි ලොකු උන්නැහේ එහෙම කියන්නෙ...."
         " ඒ ගැන ඔයිට වඩා මොකවත් මගෙන් අහන්න එපා. උඹ කාගෙ දරැවෙක් ද කියන්න මං දන් නෑ. උඹේ හොඳටයි කියන්නෙ... ගමට පලයං.. තව පැය බාගෙකින් බස් එක එනවා. ඒක මේ පෙට්ටි කඩේ ගාව නවත්තනවා නැගල යමං කියන දේ අහලා."
පවිත්‍රන් මුවට ගත් දුම් රැල පිට කරමින් මහල්ලා හට සිනාවක් පෑවේය.
        " ඇයි ලොකු උන්නැහේ පුංවි එකෙක්ට වගේ මට බල කරන්නෙ.... ඒ වත්තෙ වැඩට ගියාට මොකද වෙන්නෙ."
         " ඒවට හේතු කියන්න මට බෑ; පස්සෙන පහු ප්‍රශ්ණ ඇති වෙයි. ඕං ඔච්චරයි මට කියන්න තියෙන්නෙ. මේ කඩේ වහන වෙලාව ළඟයි. උඔ එහේ වැඩට යන නොයන එක උඹේ කැමැත්තක් "
 කියමින් මහල්ලා කඩය වැසීම ආරම්භ කළේය. ටික වෙලාවකින් කඩය වසා දමා කාකි රෙද්දෙන් මැසූ කුඩා මල්ලක්ද රැගෙන මඟට බැස්සේය. මහල්ලා නැවැත්තීමට මෙන් පවිත්‍රන් ඔහු ගේ ගමන් මඟ ඇහිරීය.

                 " ඇයි ලොකු උන්නැහේ.. මොකක්ද කියන්න හදන්නේ.... ඇයි නොකියම යන්න හදන්නේ..? "

මහල්ලා සිය ගමන නවත්වා පවිත්‍රන්ගේ හිසේ  සිට දෙපා  දක්වා තියුනු බැල්මක් හෙළුවේය.
        " අර පඩි පෙලෙන් නැඟලා  ගියාම  පොඩි කඩයක් හම්බවෙයි. ඒ කඩේං ගිහින් උඹට යන්න ඕනෙ තැන අහපං. මට යන්න ඇරපං. "
කියමින් මප්ලරය ගෙල වටා සකස් කරමින් ගමන ඇරඹීය. තමා හැර යන මහල්ලා දෙස සඳ වෙලාවක් බලා සිටි පවිත්‍රන් පඩි පෙළ දෙසට ගමන් ඇරඹීය.

               " ඒ මිනිහා මොකක්ද කියන්න ආව;නොකියම යන්න ගියා. "


පවිත්‍රන් ඒ ගැන සිතමින් පඩි පෙළ නැගීම ආරම්භ කලේය. ඔහු වටා දැඩි කළුවරක් කැටි ගැසෙමින් තිබිණි. ඔහුගේ සිත තුළ සියුම් බියක් මෝදු කිරීමට ් කළුවරට හැකි විය. පඩි පෙළ නැගි පවිත්‍රන් වෙහෙස නිසා මද වේලාවක් එතැනම රැඳී සිටියේය. කඳු අතර තැනූ නිවෙස් වල විදුලි පහන් කනාමැදිරි එළි සේ දිස්විනි. කඳු මුදුනට පඩි පෙල දිගේ නැගි පවිත්‍රන් ගේ නෙත ගැටුනේ මහල්ලා කී කඩය යි. එහි තුළ වූ බොයිලේ‍රැව අඩියෙන් ගින්දර රතු පැහැයෙන් දුරට පෙනිනි.

කිසිවෙකු කඩය තුළ සිටින බවක් නොපෙනුනත් ඔහු ඒ අසළට ගියේය. තඩය තුළ මිටි බංකුවක කුකුල් නින්දකට සූදානම්  වෙමින් සිටි කඩ හිමියා පවිත්‍රන් දුටු වහාම  නැඟී සිටියේය. අවුල් වූ හිසින් හා පැරණි ස්වීටරයකින් සැරසී සිටි ඔහු මඳක් තරබාරැ අයෙකි.

                 " මහත්තයා.... තේ බොනවද...? "

                   "ඔව් "  පවිත්‍රන් පිළිතුරැ දුන්නේය.

                  "ඇතුළට ඇවිත් ඉඳඟන්න මහත්තයා.. තේ එක කහට වැඩියෙන්ද අඩුවෙන්ද..."

                   "වැඩි කහට"

ඔහු බොයිලේරැව අසලට ගියේය. වීදුරැ කෝප්පයකට උණු වතුර ස්වල්පයක් වත් කර එය සෝදා ඩිකාෂනිල් කිරි පිටි හැඳි දෙකක් හා සීනි හැඳි දෙකක් දමා තේ ගොටුවෙන් උණු ජලය වත්කර හැඳි ගාමින්ම පවිත්‍රන් අසලට පැමිණියේ ය.

                " මහත්තයා පොල්ලච්චි බස් එකටද "

               " නෑ... ශෙක්කල් මූඩි වලට මේ දැන් තමයි ආවේ "

               " මහත්තයගෙ ගම ද මෙහෙ "

               " නෑ... මෙහෙ රස්සාවකටයි ආවේ; කොහෙද තියෙන්නෙ කුරුදියාරු වත්ත. මම මේ පැත්ත දන් නෑ. කොහොමද යන්නේ ඒ වත්තට "

කඩ හිමියා එකවරම තිගැස්සිණි. ඔහු ගේ දෑස් තුළ කුතුහලයක සේයාවක් ඇඳී ගියේ ය.

        " මොන වත්ත ද කිව්වේ මහත්තයා..... කුරුදියාරු වත්ත ද "

           "  ඔව් " කියමින් කඩ හිමියා ගේ මුහුණ දෙස බැලූ පවිත්‍රන් හට ඔහුගේ මුහුණේ වූ වෙනස අවබෝධ කර ගැනීමට හැකි විය.

                 " ඒ වත්තෙ කාව හම්බ වෙන්නද යන්න ද "

                    "රැද්‍රා මහත්තයාව "

                    " ඇයි....? රස්සාවකටවත් ඉල්ලුම් පත්‍රයක් දැම්ම ද? "

                  " නෑ ඉල්ලුම් පත්‍තරේ අතේ ම අරගෙන ආවා; වත්තට යන පාර කියනව ද කරැණාකරලා. "


කියමින් තේ කෝප්පය බීම ආරම්භ කළේ ය.
         " මහත්තයා ඒ වත්ත ගැන විස්තර තාම දන් නෑ. විස්තර දන්නවනම් මහත්තයා ඒ පැත්තෙ යන්නෙවත් නෑ."
                  " මොනවද විස්තර.. බලන්න කියනවකො "

පවිත්‍රන් උන්‍න්දුවෙන්  විමසීය. කඩ හිමියා පසු බැසීය. නැවතත් කට හඬ අවදි කළ ඔහු,

                 " කියනවකෝ ඕයි තටබන්නේ නැතුව "
      " මීට කලිනුත් ඔය වත්තට සුපවයිසර්ලා දෙන්නෙක් ආවා. මේ වගේ ම මයෙ කඩෙන් තේ බීලා තමයි වැඩට ගියේ. ඒත් ආපහු ආවෙ නෑ.

            " ඇයි එයාලට මොකද වුනේ..... " කියමින් දැල් වූ සිගරැට්ටුවෙන් දුම් උගුරක් උරා පිට කලේ ය.

             " මොකද වුනේ කියන්න දන්නෙ නෑ මහත්තයා. ඒත් එක්කෙනෙකුට කරන්ට් වැදිලා මැරැනලු. අනිත් කෙනා කුරුදියාරු ඇළේ වැටිලා මැරැණා කියලා තමයි ආරංචි වුනා "

             " ඉතින් ඒ මරණ දෙකම හදිසි අනතුරැ වගෙයි නෙ."


             " පොලීසියත් එහෙම තමයි කියන්නෙ. ඒත්..... ගමේ මිනිස්සු විස්වාස කරන් නෑ ඕක"

             " මිනී මැරැම් කියලා කියනවද ගමේ අය ? "

              " එහෙම ම කියල කියන්නෙ නෑ.. ඒත්? "

             " අනේ මහත්තයො, මම කිව්වා කියලා කාටවත් කියන්න නං එපා. එහෙම උනොත් මාව තමා අහු‍ වෙන්නෙ ඕවට."

සිගරට් කොටය මිදුලට විසි කරමින් නැඟී සිටි පවිත්‍රන්,

                " කීයද ගාන. ? "

              " රැපියල් දෙකයි. "

තම පසුම්බියෙන් රැපියල් දෙකේ කාසියක් ගත් ඔහු, "ඒ වත්තට යන පාර කොහෙන්ද" යි කියමින් කඩ හිමියා දෙස බැලුවේය.

           " මෙච්චර කියලත් යන්න ද හදන්නෙ මහත්තයා.....? "


            " මම යන්න තමයි තීරණය කරලා තියෙන්නෙ තමුසේ පාර කියනවා. "

කඩ හිමියා තතනමින් පාර කීවේය.



2 වන පරිච්ඡේදයෙන් හමුවෙමු.....

12 May 2012

දෙහදක් ආදරෙන්...

‍ආදරේ කියන්නෙ ඉ‍ගෙනගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමේ.  දවසින් දෙකෙන් ඒක කරන්න කොහොමත් බෑ. කියනකොට වචන තුනක් වුනාට ඒ වචනෙ ඇතුලෙ ගැබ්වෙලා තියන හැඟීම් මහ ගොඩයි.

ආදරේ ගැන ලෙච්චර් එකක් එහෙම නෙමේ මේ ඔන්න. හිකිස්.... :D

අවුරැද්දකට කිට්ටු කාලයක් ආදරිය මගෙන් ඈත් වෙලා හිටියෙ. ආදරේ කියන්නෙ ළඟට වෙලාම කරන්න ඕනෙ දෙයක් නෙමෙයි හින්දා ඒකට කමක් නෑ. ඒත් එයා ගැන කිසිම ම තොරතුරක් ආරංචියක් නැතුව ඉන්නවා කියන්නෙ හරි අමාරැ වැඩක්. ඒ ඇයි කියලා අහන්න එපා ඔන්න.

බොරැ කියන්නෙ මොකටද, ආදරේ මාව ඇන්දුවදෝ කියලා හිතුණා ඒ ගෙවුනු කාලෙ සමහර වෙලාවට. ඒත් ඒ සිතිවිල්ලට හිත ඇතුළෙ රජ කරන්න ඉඩ නොතියා ඉන්න උපරිම උත්සහ කලා. ඒ හින්දමද කොහෙද ආදරිය පෙනෙන මානෙන් ඈත් වුනත් හිත ඇතුළෙ ළඟටම වෙලා හිටියා.

"මම හොඳින් ඉන්නවා. ඔයා සතුටින් ඉන්න" කියන පණිවිඩේ එයා මට කවදාහරි එවයි කියලා බලාගෙන හිත රවට්ටගෙන හිටියට එහෙම පණිවිඩයක් ලැබෙන්න සෑහෙන කල් ගියා.

කොහොමින් කොහොම හරි ඒ පණිවිඩේ මට ලැබුණා. ඒ වෙලාවෙ දැනුණ සතුට වචනවලට පෙරලන්න බෑ. ඒක හරියට මෙහෙමයි කියලා කියන්න අමාරැයි. හරියට මහ දවාලෙ අව්කාස්ටකේට හෙම්බත් වුනු පුංචි පැළේකට වතුර ටිකක් වත් කලාම ආයෙම පණ එනවා වගේ.

අලුත් නම්මරයකින් මැසේජ් එකක් ඇවිල්ලා තිබුණහම මං හිතුවෙ වැරදිලා වෙන්න ඇති කියලා. 
මොකද මං මැසේජ් කොටන්නෑ කාටවත්. ඒක කියෙව්වහම මට එකපාරටම හිතුනෙ මේ නම් මව අන්දන්න මගෙ ගජ මිතුරා (හතුරා) එවාපු එකක් තමා කියලා.
ඒ හින්දා රිප්ලයි කොලේ නෑ. ඒත් කීප සැරයන්ම කියෙව්වාම තමයි දැක්කෙ එයා මට ආදරේට කියන නමත් ඒකෙ කොටලා තියනවා කියලා.
ඒක අපි දෙන්නා ඇරෙන්න වෙන කවුරැවත් දන්නෙ නෑ.

හත් දෙයියනේ මේ මගෙ ආදරිය එවාපු එකක් තමා.
ඒ වෙලේ හිතුණෙ එහෙම.

සෑහෙන කාලෙකින් මැසේජ් කොටලා නැති හින්දා රිප්ලයි එක යවන්න සෑහෙන වෙලාවක් ගියා.

එතනින් එහාට මොනා කියන්නද.....!!


                                                              You have
                                        New Massage

                                     






ආදරිය තමයි කිව්වෙ Post එකට මේ නම දාන්න කියලා. මං දාන්න හැදුවෙ "ආදරය අන්දයි" කියලා.


ප.ලි- මගෙ Post පොඩියි කියලා දොසක් කියන්නෙ නැති වෙයි කියලා හිතනවා.
        වෙලාවෙ හැටියටයි ලියන්නෙ.




.