27 January 2012

අපිට අපි අහිමි වුනු හැටි - දෙවන දිගහැරැම


න්තිම බස් එකත් කන්ද සැර දාගෙන නගින සද්දෙට බාගෙට පියැවිලා තිබිච්චි එයාගෙ ඇස් ආයෙම පණ ගත්තා. බලාපොරොත්තුවේ නිහඬ සිසිල් සුළඟ ආයෙමත් ඔච්චමට වගේ නළල් තලයට වැටිලා තිබුණු පොඩි කෙස් රොද ඉහළට එසෙව්වා. කලින් ඈත පොල් ගස් අස්සෙන් මල හිරැ බහිනවා දුටුවත් දැන් ඒ හිරැත් පේන්න නෑ. අඳුර අතරින් කන්ද දිගේ ඇදෙන ලංගම බස් රියේ ඉදිරිපස විදුලි ලාම්පු එලියෙන් ඉස්සරහ එහෙ මෙහෙ පියාඔන කෘමි සතුන් දිලිහි දිලිහි පේනවා.

ලමයයි එයාගෙ අම්මයි බසය නැවතුමේ නතර කරන්න කලින් සිමෙන්ති බංකුවෙන් නැගිටලා බලාගෙන හිටියෙ බහින සෙනඟ දිහා. අන්තිම බසය නිසා වැඩියෙ සෙනඟ හිටියෙ නැති වුනාට කලුවර නිසාත් පා පුවරැවෙ ලාම්පුවෙන් එන එළියෙන් හැදෙන සෙවනැලි නිසාත්  පැහැදිලිව අඳුන ගන්න බෑ කී දෙනෙක් බැස්සද කියලා.

අම්මගෙ කර ගාවට උස වුනාට පාර මාරැ වෙලා එන අය හින්දා එයාට හරියට පෙනුනෙ නෑ බහින අනිත් අයව. ඇඟිලි වලින් ඉස්සෙද්දිම වගේ බසයත් යන්න සැර දැම්මා. අන්තිම මගියත් තමා බලාපොරොත්තු වුනු කෙනා නෙමෙයි කියලා ලමයා දැක්කා. ඉහළට එසවුනු විලුඹ ආයෙම පාත් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.

                                 "අම්මෙ, අද තාත්තා එන එකක් නෑ. අපි යං"

ලමයා කිව්වෙ සිමෙන්ති බංකුව යට තිබුණු හුලු අත්තත් අරගෙන.

එයයි අම්මයි ගෙදර යන්න හැරැණා.

                                                                    ෴*෴

තාත්තා එනවයි කියලා ටෙලිග්‍රෑම් එකක් ඊයෙ උදේ පියුම් මාමා ගෙදත් දෙනකල්ම එයා හිතුවෙම මේ අවුරැද්දටත් තාත්තා එන එකක් නෑ කියලා. ඒත් හිතට යට වෙලා තිබුණු පුංචි බලාපොරොත්තුවක් නැතුවම නෙමෙයි හිටියෙ. එයාගෙ අයිය නම් කිව්වෙම තාත්තා එන එකක් නෑ කියලමයි.

අවුරැද්දටයි කියලා අම්මා ඒ වෙනකම් මොනවත් හදලා තිබුණෙ නෑ. මොනවත් නොහදා හොඳ නැති හින්දා නෙමෙයි අම්මා අද උදේම කැකුළු හාල් පෙගෙන්න දැම්මෙ. ඒ ආව පණිවිඩේ තමයි එයාව පෙළඹෙව්වෙ ලමයින්ට කන්න අලුවා ටිකක් කපන්න ඕනෙ කියලා.

                                                                      ෴*෴

නංගියා බලාන ඇති තාත්තා එනකං. අපි යද්දිත් එයා එන්න හදලා ඇඬුවා. පව් එයා දැන් අපි ගිය ගමන් අඬයි කෝ තාත්තා කියලා.                                                                                                                                    අම්මා පාන් ගන්න එකක් නෑ. ඒ කියන්නෙ අද රෑට කන්නත් නෑ.

ලමයා එහෙම හිත හිත අම්මගෙ අතේ තියෙන හුලු අත්තෙන් පිච්චි පිච්චි හුළගට එන පොල් කොළ අළු අල්ලුවා.

 නයි පෙනේ වගේ දෙපෙත්තට වැනෙන හුලු අත්තෙ එලියෙන් එයා අම්මගෙ මූණ බැලුවා. බොර පාට වුනු ඇස් ඒ එලියට පෙනුනෙ තවත් තදට. ඇස් පිල්ලමුත් නිතරම වැහෙන්නෙ ඇස් අළු වලින් රැකගන්න නෙමේ ඒ කඳුළු එන හින්දා කියලා එයා දන්නවා.

හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ. අනිද්දා මහ සභා රැස්වීමට එන්න කියලා දෙමව්පියන්ට දෙන්නයි කියලා දෙන කොල දෙන්නෙ හෙට. අනිද්දා අම්මට එන්න වෙන්නෑ නෙ අයියලෑ රැස්වීමට යන හින්දා. අම්මා  ආවෙ නැත්තෙ ඇයි කියලා මිස් ඇහුවොත් කියනවා කොලේ හම්බුනෙ නෑ කියලා.                                             එයා හිතුවා.

ගෙට්ටුව ඇරෙද්දි ඇහෙන සද්දෙට නංගියි අයියයි දොර කඩට ආවෙ දුවගෙන. අයියා සාමාන්‍ය පෙළ විභාගෙට වාඩි වෙන්නෙ මේ අවුරැද්දෙ. නිදි මරාගෙන පාඩම් වැඩ නොකලත් යම් තරමක දක්ෂකමක් එයාට තිබුණා. ඒ හින්දමද මන්දා අම්මත් අයියා පස්සෙන් එයා කරන දේවල් හොයන්න ගියේ නෑ.

එදා එයාලා ඔක්කොම වේලාසනින් නිදාගත්තා. අම්මත් මොනවත් කන්න හදන්නෙ නැති බව දන්න් නිසාම බඩවල් පිරෙන්න වතුර බීපු අයියයි එයයි ඇඳට ගොඩ වුනා.

ඇඳට ගියත් ඒ පුංචි දෑස් ඉක්මනින් නින්ද වෙලා ගත්තෙ නෑ. තාත්තගෙ රැව නිරන්තරේ බාගෙට පියා ගත් ඇස් අතර හොල්මන් කලා. ඒ අතර තුරම උදේ රෑපවාහිණී නිවේදිකාව උතුරේ මානුෂීය මෙහෙයුම ගැන කියපු විස්තර එයාගෙ කන් පෙති අතරින් ගිහින් සිතේ තිගැස්මක් ඇති කලා.

නෑ.. එහෙම වෙන්නෙ නෑ මගෙ තාත්තට..

අඬවන්ව තිබුණු ඒ දෑස් බලාපොරොත්තුවේ උදා හිරැ දකින තුරැ පියැවුණා.

10 comments:

  1. මල්ලි... මේ ඇත්ත කතාවක්ද? නැත්නම් කතන්දරයක්ද? මට පැටලිලා වගේ

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ මම විඳපු දැකපු හැමදේම මේ කතාවෙදි ලියනවා Shani අක්කෙ. ඉතින් මේ ලිව්වෙත් ඒ වගේ මම වින්ද දේවල් වලින් එක දෙයක්.

      ලියන්න යොදාගත්ත විදිහ වෙනස් කලා අක්කෙ. ඒත් මේක නිකම්ම සිදුවීමක් විදිහට ලියනවට වඩා නිර්මාණාත්මකව ලියන්නයි මම උත්සාහ ගන්නෙ. ඒකෙන් ලිවීමේ හැකියාව වැඩි දියුණු කරගන්නත් උත්සාහ කරනවා.

      අදහසට ගොඩක් ස්තූතියි අක්කෙ.

      Delete
  2. ම්ම්ම්...ලස්සනයි..ගොඩාක්..

    ReplyDelete
  3. ඇත්තටම මේ වගේ ළමයි කී දෙනෙක් තමන්ගේ තාත්තා එනකම් බලාගෙන ඉන්න ඇත්ද? ඉතිරියත් ලියමු මල්ලියේ..

    ReplyDelete
    Replies
    1. තවමත් තාත්තා හීනෙන් හරි මගෙ ලඟට ඇවිත් ඉන්නවනම් මම කොච්චර ආසද. හය හතර නොදන්න පොඩි එවුන් අම්මගෙ අතේ එල්ලිලා තාත්තා කෝ අම්මේ.. කියලා අහනවා මම ඇස් දෙකෙන් දැකලා තියනවා අයියේ.

      ඉතිරිය ඉක්මනින් ලියන්නම් අයියේ.. ස්තූතියි

      Delete
  4. බොහෝම හැඟුම්බරව ලියනවා ඇත්තටම මම දෙගිඩියාවෙන් කියෙව්වේ....දිගටම ලියන්න හිතේ දෙයක් හිර කරන් ඉන්නවට වඩා ලියන එක ගොඩාක් වටිනවා ඒකමයි මමත් ලියන්න පටන් ගත්තේ....ලස්සන කතන්දරයක් වගේ මේක ගලාගෙන යනවා...ඉතිරියනම් ඉක්මනින්ම ඕනේ

    ReplyDelete
  5. අපි පිටපැත්තෙන් බලල සතුටුවෙන මිනිස්සුන්ගේ ජීවිතවල ඇතුල් පැත්ත මේකයි..

    ReplyDelete
  6. අත්දැකීමක් ලියනවා කියල දැනෙද්දි මුකුත්ම ලියන්න හිතෙන්නෙ නෑ පුතා..

    මම ගෙදර යන්න පැය භාගයක් විතර පරක්කු වෙනකොට කෝල් කරන මගෙ කෙල්ලො දෙන්න ගැන මතක් වෙද්දි ඔයාලගෙ දරාගැනීම ගැන සතුටුයි... හැබැයි ඔයාල දන්නවා දවස් 45කට පස්සෙයි තාත්තා එන්නෙ කියලා...

    පුංචි දෙයක් කියන්නම්.. පළවන කොටසේ පුතා ලියල තියෙන්නෙ කථා නායකයා පුතා කියල හිතාගෙන නේද? “මම“ පාවිච්චි කරලා.. දෙවන කොටසෙදි කථා නායකයා “ළමයා“ වෙලා.. තරහ ගන්න එපා හොඳේ...

    ReplyDelete
  7. මේ කතාව අදවත් ලියන්න ඕනෙ කියලා හිතලා ලියන්න හැදුවට කීබෝඩ් එක දිහා බලලා මොනිටරේ දිහා බලද්දි ඇස් දෙක බොඳවෙලා යනවා.ඇයි දෙයියනේ මට මුලින් මේක ලියන්න ඕනෙ කියලා හිතුනෙ.දැන්නම් මේක ලියන්න හිත දෙන්නෑ.

    අවුරැදු පහුවෙලා ලියනවා කියලා හිතාන හිටියට ඒකත් බැරි වුනා. බ්ලොග් එකට එන්න හිතෙන්නෙත් නෑ.මේක අයින් කරන්න හිතෙන්නෙත් නෑ.

    සමාවෙන්න බ්ලොග් යාළුයනේ මගෙ හිත තවමත් හදාගන්න බෑ වගේ.

    ReplyDelete

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

.