23 January 2012

අපිට අපි අහිමි වුණු හැටි - පළමු දිගහැරැම


න්තිම දවස තමයි එදා. මූසල බව ගේ පුරාම විතරක් තිබුන නම් හිත හදා ගන්න තිබුණා. ඒක මුදුල පුරා විතරක් නෙමේ අපේ මූණූ වලටත් ඇවිත්. අම්මගෙනුයි මං මුලින්ම දැක්කෙ. එයා බෑග් එකට රෙදි අස් කරද්දි වෙනදට පිටිපස්සට පිරලා තිබුණු ඉස කෙස් මූණෙ පැත්තක් වැහෙන්න ම අවුල් වෙලා. මම දන්නව එහෙම වෙලා තියෙන්නෙ හුළං පාරට නෙමෙයි. එයා එහෙම හදාගෙන. අනිත් අයට ඇස් පේන්නැති වෙන්න.

නංගි ටූත් බේස්ට්ටුයි සබන් කෑල්ලයි දාලා තියන කවරෙට අත දාලා ඒවා ආයෙම එළියට ගනිද්දි සිලි කවරෙන් ඇහෙන සද්දෙට අම්මා අතට ගත්ත කාකි යුනිෆෝම් එක තියලා තට්ටමට සද්දෙ ඇහෙන්නම පාරක් දුන්නෙ නංගිට වුනාට ඒකෙන් වැඩියෙන්ම රිදුනෙ තාත්තට. නංගිව ඇඳෙන් වඩාගෙන සාලෙට ගියේ ඒ හින්දා.

හෙට තාත්තා යනවා කියලා අයියා මට කිව්වෙ ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බත් කද්දි. මම දවස් ගනන් කරගෙන‍යි හිටියෙ. එයත් ගනන් කරන්න ඇති. එයා අද ඉස්කෝලෙ ගියේ තරහෙන්. ඊයෙ රෑ කොච්චරනම් එයා බෑ කිව්වද අද ඉස්කෝලෙ යන්න. හොඳ වෙලාවට අපේ විභාගෙ ඉස්සල්ලා තිබුනෙ. නැත්තං මාත් අද ඉස්කෝලෙ.

දවස් දහයක නිවාඩුවක් තාත්තට හම්බ වෙන්නෙ දවස් හතලිස් පහක් වැඩ කලාම. ඒකෙනුත් දවස් දෙකක් එන්නයි යන්නයි යනකොට ගෙදර ඉන්න ඉතිරි වෙන්නෙ දවස් අටයි. ඒ දවස් අටේවත් අපිට තාත්තත් එක්ක ගෙදරට වෙලා ඉන්න වෙන්නෙ පැය කීයද.

"ඒයි, අවුරැදු නිවාඩුව මේ සැරේ වැඩි කරයි. කොහොමත් දැන් ඒ පැත්තෙ ඩියුටි වලට කට්ටිය ඉන්නවා. ඒ හින්දා  අපිට එච්චර ඩියුටි වැටෙන්නෑ. මේ සැරේවත් ලොකු අක්කලෙ දිහා ගිහින් එමු. ගිය පාරත් බැරි වුනානෙ."

එයා යන්න ඇදුම් අදිනවා. අම්මත් එක්ක කතා කර කර. අම්මගෙ කට හඬක් නම් ඇහෙන්නෑ. අඬනවා ඇති. හැමදාම ඕකනෙ වෙන්නෙ. නංගි මොනවදෝ සැටියෙ ඉදන් කියවනවා. මට තේරෙන්නෑ.එයා ඇඟිලි උරෝලම තොල් දෙක ඉස්සිලා. සැටියෙ එහා කොනේ හිටිය මටත් කටේ දාගෙන ඉදළම තැම්බුනු ඇඟිලි වල ගඳ එනවා.

මම ඒ පැත්තට ඇළ වෙලා කටේ දාගෙන හිටිය අත ඇද්දා. එයාට පුළුවන් අඬන්න විතරනෙ. පව්, ඇඟිල්ල අත් වල වැදිලා හැපෙන්න ඇති.  අම්මා ඇවිත් වඩා ගත්තට පස්සෙ එයාගෙ සද්දෙ අඩු වුනා.

                                "චූටි පුතා..මම යන්නයි හදන්නෙ.. "

                              "කෝ මේ බෑග් එක. කෝ දෙන්න."

මම බෑග් එක අරන් අතට දුන්නා.රෙදි හින්දා එච්චර බර නෑ.

         "ලොකු අයියා එක්ක ආයෙම රණ්ඩු කරගන්න බෑ හරිද.. මම අවුරැද්දට එදිදි ආයෙම සිප්පි කටු ගේන්නම්. අර මුහුදු අශ්වයා තව වේලන්න ඕනෙ නෑ. ඉටි කොලේක ඔතලා පොතක් අස්සෙ දාගන්න."

මම ඔළුව වැනුවා විතරයි. උගුරෙ මොකක්ද හිර වෙලා වගේ දැනුනා. මම දන ගහලා තාත්තට වැන්ඳා.

"අයියට කියන්න මම ගියා කියලා. එයාටත් පොතක් අරන් එනවා කියන්න."

අම්මත් තාත්තට වැන්ඳා අඬාගෙනම. හැමදාම තාත්තා කියනවා යන්න ලෑස්ති වෙද්දි අඬන්න එපා කියලා. කෝ ඉතින් අම්මා අහනවෑ. මම නම් කට වහගන්නවා ඇඬන්න වගේ එදිදි. නහයෙන් හයියෙන් හුස්ම ගද්දි ඇඬෙන්න එනවනම් නවතිනවා කිව්වෙ අයියා. එයා එහෙමලු ඉස්සර ඉඳන් තාත්තියා වැඩට යන්න යද්දි කරන්නෙ.

මාත් එහෙම කරලා බැලුවහම ඒක හරි ගියා. අම්මටත් කියලා දෙන්න ඕනෙ පස්සෙ.

නංගියත් වඩා ගෙනම එයා ගේට්ටුව ළඟට ගියේ අම්මයි මමයි පිටිපස්සෙන් එද්දි. නංගිව අම්මා අතට දීලා එයා බෑග් එක අරන් යදිදි මට කට තද කරන් ඉන්න බැරි වුනේ කොහොමද මන්දා.

කලින් උගුරෙ හිරවෙලා තිබිලා තියෙන්නෙ අඬදිදි දැනෙන දේ වෙන්න ඇති.

මම හයියෙන් ඇඬුවා.

හිර වෙලා තිබුනෙ මොකක් වුනත් එදා මම ඒක ඉවර වෙනකම්ම ඇඬුවා.

-------------------------------------------------------------------------------------------------------------------                                  
මෙතෙක් ගෙවුනු ජීවිතෙන් කවදාවත් අමතක නොවන එකම එක මතකයක් මෙහෙම සටහන් කරන්නෙ අනුකම්පාව ලබාගන්න නොවන බව මගේ හිත දන්නවා.

ඒ මතකයන් මා වටා හැම මොහොතකම රැදෙමින් මාව රිදවනවා කියලා දැන දැනත් ඒ පස්සෙම යන්නෙ මගේ තාත්තව අමතක කරන්නවත් ඒ සිදුවීම අමතක කරන්නවත් බැරි නිසා.

ඉතින්, ඒ කතාව මම දිගටම ලියනවා. නෑ.. ඒ රණවිරැවගෙ ජීවිත කතාව මම ලියනවා.

15 comments:

  1. ම්ම්ම්....මල්ලිගේ තාත්තා රණවිරුවෙක් ද? ආඩම්බර නැද්ද?

    ReplyDelete
  2. මහා යුද්දේ කාලේ අපේ ගෙදරත් ඔය වගේමයි මල්ලී...බණ්ඩාර බාප්පා ගෙදර ඇවිත් ආයෙම කෑම්ප් යන වෙලාවට මේ වගේමයි......ඒ දවසවලට රේඩියෝ...ටී.වී වල යන නිව්ස්...ඒවා අහද්දී මාලි පුන්චී දුක් වින්ද හැටි...

    ලියන්න....අපි කියවනවා

    ReplyDelete
  3. අපේ මාමාත් ඉස්සර හමුදාවේ ඒත් අලිමංකඩදි ෂෙල් එකක් වැදිලා එයාගේ කකුලක් අද වෙනකනුත් සැරින් සැරේ ඔපරේෂන් කරනවා මේ අන්තිම ටික හරිම හැඟුම්බරයි ඇඬෙන්න තරම්...සැලෙන්න එපා ආඩම්බර වෙන්න...ජයවේවා

    ReplyDelete
  4. ඔව් මල්ලි, ලියන්න. ඇස් වලට කඳුළු ආවට අපි එනවා දිගටම කියවන්න..

    ReplyDelete
  5. මල්ලි ඔයාගේ තාත්තා ඔයාලගේ වගේම තව දහස් ගානකගේ හිත් වලට වීරයෙක්.. අඩම්බර වෙන්න තාත්තා ගැන.. ඔයා කතාව ලියන්න.. මම එනවා ඔයාගේ තාත්තගේ කතාව දැනගන්න...

    ReplyDelete
  6. හැම හිතකම ජීවමාන කරන්න.. ලියන්න මල්ලියෝ.. අපි එනවා කියවන්න.. :)

    ReplyDelete
  7. ලියන්න මල්ලි.. ඉක්මනට ලියන්න

    ReplyDelete
  8. ඔයාගෙ තාත්තා වීරයෙක්.. ලියන්න ඒ වීරයගෙ කතව අපිට කියවන්න....

    ReplyDelete
  9. ලියන්න මල්ලි,. අපි හැමෝම ඉන්නවා ඔයාගේ දුක සතුට බෙදාගන්න,..

    ReplyDelete
  10. දිගටම ලියන්න....බලාගෙන ඉන්නෙ දැනගන්න ඒ රණවිරුවගේ ජීවිතය...

    ReplyDelete
  11. අපේ මිනිස්සු අද සතුටුවෙන්නේ දුක් කන්දරාවක් විඳපු තවමත් විඳවන පවුල් දහස් ගණනකට පින්සිද්ද වෙන්නයි.. ඒ මතකය අමතක කරන්න පුළුවන් නුපන් උන්ට විතරයි..

    ReplyDelete
  12. පුංචි මල්ලියේ, සැලෙන්න එපා. ඒ වීරයාගේ සිහින සැබෑ කරන්න ඕනේ.

    මේ රචනය ගොඩාක් හිතට දැනෙනවා, දිගටම ලියන්න. ඔබේ හැකියාව තුලින් ඒ විරුවන් ගැන මතකය ජීවත් කරවන්න.

    නුඹ දිණුවොත් මලේ එක විරුවෙකුගේ හෝ බලාපොරොත්තුව මල්පල ගැන්වුනා වෙනවා.

    ReplyDelete
  13. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.
    අනේ පොඩියක් සමාවෙන්න ඕනෙ ලිපි පලවීම ප්‍රමාද වුනාට.
    තාම ඉගෙන ගන්න ලමයෙක්නෙ කියලා සමාව දෙනවා කියලා මම දන්නවා.

    ඉක්මනින්ම ඊළඟ ලිපිය දාන්න මම උපරිම උත්සාහය ගන්නම්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිවීම පමා වුනාට කාරියක් නැහැ මලේ ඉගෙනීම් කටයුතු අතපසු කරගන්න එපා. උත්සාහ කරලා ජීවිතය ජයගන්න, එයයි ප්‍රධාන කාරණය.

      Delete
  14. මටත් අපේ තාත්තාව මතක් වුනා. අපේ තාත්තත් හමුදා නිලධාරියෙක් වෙලා හිටියා. රණවිරු පවුල්වල අත්දැකීම මේක තමා ඒ දවස්වල

    ReplyDelete

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

.