27 January 2012

අපිට අපි අහිමි වුනු හැටි - දෙවන දිගහැරැම


න්තිම බස් එකත් කන්ද සැර දාගෙන නගින සද්දෙට බාගෙට පියැවිලා තිබිච්චි එයාගෙ ඇස් ආයෙම පණ ගත්තා. බලාපොරොත්තුවේ නිහඬ සිසිල් සුළඟ ආයෙමත් ඔච්චමට වගේ නළල් තලයට වැටිලා තිබුණු පොඩි කෙස් රොද ඉහළට එසෙව්වා. කලින් ඈත පොල් ගස් අස්සෙන් මල හිරැ බහිනවා දුටුවත් දැන් ඒ හිරැත් පේන්න නෑ. අඳුර අතරින් කන්ද දිගේ ඇදෙන ලංගම බස් රියේ ඉදිරිපස විදුලි ලාම්පු එලියෙන් ඉස්සරහ එහෙ මෙහෙ පියාඔන කෘමි සතුන් දිලිහි දිලිහි පේනවා.

ලමයයි එයාගෙ අම්මයි බසය නැවතුමේ නතර කරන්න කලින් සිමෙන්ති බංකුවෙන් නැගිටලා බලාගෙන හිටියෙ බහින සෙනඟ දිහා. අන්තිම බසය නිසා වැඩියෙ සෙනඟ හිටියෙ නැති වුනාට කලුවර නිසාත් පා පුවරැවෙ ලාම්පුවෙන් එන එළියෙන් හැදෙන සෙවනැලි නිසාත්  පැහැදිලිව අඳුන ගන්න බෑ කී දෙනෙක් බැස්සද කියලා.

අම්මගෙ කර ගාවට උස වුනාට පාර මාරැ වෙලා එන අය හින්දා එයාට හරියට පෙනුනෙ නෑ බහින අනිත් අයව. ඇඟිලි වලින් ඉස්සෙද්දිම වගේ බසයත් යන්න සැර දැම්මා. අන්තිම මගියත් තමා බලාපොරොත්තු වුනු කෙනා නෙමෙයි කියලා ලමයා දැක්කා. ඉහළට එසවුනු විලුඹ ආයෙම පාත් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.

                                 "අම්මෙ, අද තාත්තා එන එකක් නෑ. අපි යං"

ලමයා කිව්වෙ සිමෙන්ති බංකුව යට තිබුණු හුලු අත්තත් අරගෙන.

එයයි අම්මයි ගෙදර යන්න හැරැණා.

                                                                    ෴*෴

තාත්තා එනවයි කියලා ටෙලිග්‍රෑම් එකක් ඊයෙ උදේ පියුම් මාමා ගෙදත් දෙනකල්ම එයා හිතුවෙම මේ අවුරැද්දටත් තාත්තා එන එකක් නෑ කියලා. ඒත් හිතට යට වෙලා තිබුණු පුංචි බලාපොරොත්තුවක් නැතුවම නෙමෙයි හිටියෙ. එයාගෙ අයිය නම් කිව්වෙම තාත්තා එන එකක් නෑ කියලමයි.

අවුරැද්දටයි කියලා අම්මා ඒ වෙනකම් මොනවත් හදලා තිබුණෙ නෑ. මොනවත් නොහදා හොඳ නැති හින්දා නෙමෙයි අම්මා අද උදේම කැකුළු හාල් පෙගෙන්න දැම්මෙ. ඒ ආව පණිවිඩේ තමයි එයාව පෙළඹෙව්වෙ ලමයින්ට කන්න අලුවා ටිකක් කපන්න ඕනෙ කියලා.

                                                                      ෴*෴

නංගියා බලාන ඇති තාත්තා එනකං. අපි යද්දිත් එයා එන්න හදලා ඇඬුවා. පව් එයා දැන් අපි ගිය ගමන් අඬයි කෝ තාත්තා කියලා.                                                                                                                                    අම්මා පාන් ගන්න එකක් නෑ. ඒ කියන්නෙ අද රෑට කන්නත් නෑ.

ලමයා එහෙම හිත හිත අම්මගෙ අතේ තියෙන හුලු අත්තෙන් පිච්චි පිච්චි හුළගට එන පොල් කොළ අළු අල්ලුවා.

 නයි පෙනේ වගේ දෙපෙත්තට වැනෙන හුලු අත්තෙ එලියෙන් එයා අම්මගෙ මූණ බැලුවා. බොර පාට වුනු ඇස් ඒ එලියට පෙනුනෙ තවත් තදට. ඇස් පිල්ලමුත් නිතරම වැහෙන්නෙ ඇස් අළු වලින් රැකගන්න නෙමේ ඒ කඳුළු එන හින්දා කියලා එයා දන්නවා.

හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ. අනිද්දා මහ සභා රැස්වීමට එන්න කියලා දෙමව්පියන්ට දෙන්නයි කියලා දෙන කොල දෙන්නෙ හෙට. අනිද්දා අම්මට එන්න වෙන්නෑ නෙ අයියලෑ රැස්වීමට යන හින්දා. අම්මා  ආවෙ නැත්තෙ ඇයි කියලා මිස් ඇහුවොත් කියනවා කොලේ හම්බුනෙ නෑ කියලා.                                             එයා හිතුවා.

ගෙට්ටුව ඇරෙද්දි ඇහෙන සද්දෙට නංගියි අයියයි දොර කඩට ආවෙ දුවගෙන. අයියා සාමාන්‍ය පෙළ විභාගෙට වාඩි වෙන්නෙ මේ අවුරැද්දෙ. නිදි මරාගෙන පාඩම් වැඩ නොකලත් යම් තරමක දක්ෂකමක් එයාට තිබුණා. ඒ හින්දමද මන්දා අම්මත් අයියා පස්සෙන් එයා කරන දේවල් හොයන්න ගියේ නෑ.

එදා එයාලා ඔක්කොම වේලාසනින් නිදාගත්තා. අම්මත් මොනවත් කන්න හදන්නෙ නැති බව දන්න් නිසාම බඩවල් පිරෙන්න වතුර බීපු අයියයි එයයි ඇඳට ගොඩ වුනා.

ඇඳට ගියත් ඒ පුංචි දෑස් ඉක්මනින් නින්ද වෙලා ගත්තෙ නෑ. තාත්තගෙ රැව නිරන්තරේ බාගෙට පියා ගත් ඇස් අතර හොල්මන් කලා. ඒ අතර තුරම උදේ රෑපවාහිණී නිවේදිකාව උතුරේ මානුෂීය මෙහෙයුම ගැන කියපු විස්තර එයාගෙ කන් පෙති අතරින් ගිහින් සිතේ තිගැස්මක් ඇති කලා.

නෑ.. එහෙම වෙන්නෙ නෑ මගෙ තාත්තට..

අඬවන්ව තිබුණු ඒ දෑස් බලාපොරොත්තුවේ උදා හිරැ දකින තුරැ පියැවුණා.

23 January 2012

අපිට අපි අහිමි වුණු හැටි - පළමු දිගහැරැම


න්තිම දවස තමයි එදා. මූසල බව ගේ පුරාම විතරක් තිබුන නම් හිත හදා ගන්න තිබුණා. ඒක මුදුල පුරා විතරක් නෙමේ අපේ මූණූ වලටත් ඇවිත්. අම්මගෙනුයි මං මුලින්ම දැක්කෙ. එයා බෑග් එකට රෙදි අස් කරද්දි වෙනදට පිටිපස්සට පිරලා තිබුණු ඉස කෙස් මූණෙ පැත්තක් වැහෙන්න ම අවුල් වෙලා. මම දන්නව එහෙම වෙලා තියෙන්නෙ හුළං පාරට නෙමෙයි. එයා එහෙම හදාගෙන. අනිත් අයට ඇස් පේන්නැති වෙන්න.

නංගි ටූත් බේස්ට්ටුයි සබන් කෑල්ලයි දාලා තියන කවරෙට අත දාලා ඒවා ආයෙම එළියට ගනිද්දි සිලි කවරෙන් ඇහෙන සද්දෙට අම්මා අතට ගත්ත කාකි යුනිෆෝම් එක තියලා තට්ටමට සද්දෙ ඇහෙන්නම පාරක් දුන්නෙ නංගිට වුනාට ඒකෙන් වැඩියෙන්ම රිදුනෙ තාත්තට. නංගිව ඇඳෙන් වඩාගෙන සාලෙට ගියේ ඒ හින්දා.

හෙට තාත්තා යනවා කියලා අයියා මට කිව්වෙ ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බත් කද්දි. මම දවස් ගනන් කරගෙන‍යි හිටියෙ. එයත් ගනන් කරන්න ඇති. එයා අද ඉස්කෝලෙ ගියේ තරහෙන්. ඊයෙ රෑ කොච්චරනම් එයා බෑ කිව්වද අද ඉස්කෝලෙ යන්න. හොඳ වෙලාවට අපේ විභාගෙ ඉස්සල්ලා තිබුනෙ. නැත්තං මාත් අද ඉස්කෝලෙ.

දවස් දහයක නිවාඩුවක් තාත්තට හම්බ වෙන්නෙ දවස් හතලිස් පහක් වැඩ කලාම. ඒකෙනුත් දවස් දෙකක් එන්නයි යන්නයි යනකොට ගෙදර ඉන්න ඉතිරි වෙන්නෙ දවස් අටයි. ඒ දවස් අටේවත් අපිට තාත්තත් එක්ක ගෙදරට වෙලා ඉන්න වෙන්නෙ පැය කීයද.

"ඒයි, අවුරැදු නිවාඩුව මේ සැරේ වැඩි කරයි. කොහොමත් දැන් ඒ පැත්තෙ ඩියුටි වලට කට්ටිය ඉන්නවා. ඒ හින්දා  අපිට එච්චර ඩියුටි වැටෙන්නෑ. මේ සැරේවත් ලොකු අක්කලෙ දිහා ගිහින් එමු. ගිය පාරත් බැරි වුනානෙ."

එයා යන්න ඇදුම් අදිනවා. අම්මත් එක්ක කතා කර කර. අම්මගෙ කට හඬක් නම් ඇහෙන්නෑ. අඬනවා ඇති. හැමදාම ඕකනෙ වෙන්නෙ. නංගි මොනවදෝ සැටියෙ ඉදන් කියවනවා. මට තේරෙන්නෑ.එයා ඇඟිලි උරෝලම තොල් දෙක ඉස්සිලා. සැටියෙ එහා කොනේ හිටිය මටත් කටේ දාගෙන ඉදළම තැම්බුනු ඇඟිලි වල ගඳ එනවා.

මම ඒ පැත්තට ඇළ වෙලා කටේ දාගෙන හිටිය අත ඇද්දා. එයාට පුළුවන් අඬන්න විතරනෙ. පව්, ඇඟිල්ල අත් වල වැදිලා හැපෙන්න ඇති.  අම්මා ඇවිත් වඩා ගත්තට පස්සෙ එයාගෙ සද්දෙ අඩු වුනා.

                                "චූටි පුතා..මම යන්නයි හදන්නෙ.. "

                              "කෝ මේ බෑග් එක. කෝ දෙන්න."

මම බෑග් එක අරන් අතට දුන්නා.රෙදි හින්දා එච්චර බර නෑ.

         "ලොකු අයියා එක්ක ආයෙම රණ්ඩු කරගන්න බෑ හරිද.. මම අවුරැද්දට එදිදි ආයෙම සිප්පි කටු ගේන්නම්. අර මුහුදු අශ්වයා තව වේලන්න ඕනෙ නෑ. ඉටි කොලේක ඔතලා පොතක් අස්සෙ දාගන්න."

මම ඔළුව වැනුවා විතරයි. උගුරෙ මොකක්ද හිර වෙලා වගේ දැනුනා. මම දන ගහලා තාත්තට වැන්ඳා.

"අයියට කියන්න මම ගියා කියලා. එයාටත් පොතක් අරන් එනවා කියන්න."

අම්මත් තාත්තට වැන්ඳා අඬාගෙනම. හැමදාම තාත්තා කියනවා යන්න ලෑස්ති වෙද්දි අඬන්න එපා කියලා. කෝ ඉතින් අම්මා අහනවෑ. මම නම් කට වහගන්නවා ඇඬන්න වගේ එදිදි. නහයෙන් හයියෙන් හුස්ම ගද්දි ඇඬෙන්න එනවනම් නවතිනවා කිව්වෙ අයියා. එයා එහෙමලු ඉස්සර ඉඳන් තාත්තියා වැඩට යන්න යද්දි කරන්නෙ.

මාත් එහෙම කරලා බැලුවහම ඒක හරි ගියා. අම්මටත් කියලා දෙන්න ඕනෙ පස්සෙ.

නංගියත් වඩා ගෙනම එයා ගේට්ටුව ළඟට ගියේ අම්මයි මමයි පිටිපස්සෙන් එද්දි. නංගිව අම්මා අතට දීලා එයා බෑග් එක අරන් යදිදි මට කට තද කරන් ඉන්න බැරි වුනේ කොහොමද මන්දා.

කලින් උගුරෙ හිරවෙලා තිබිලා තියෙන්නෙ අඬදිදි දැනෙන දේ වෙන්න ඇති.

මම හයියෙන් ඇඬුවා.

හිර වෙලා තිබුනෙ මොකක් වුනත් එදා මම ඒක ඉවර වෙනකම්ම ඇඬුවා.

-------------------------------------------------------------------------------------------------------------------                                  
මෙතෙක් ගෙවුනු ජීවිතෙන් කවදාවත් අමතක නොවන එකම එක මතකයක් මෙහෙම සටහන් කරන්නෙ අනුකම්පාව ලබාගන්න නොවන බව මගේ හිත දන්නවා.

ඒ මතකයන් මා වටා හැම මොහොතකම රැදෙමින් මාව රිදවනවා කියලා දැන දැනත් ඒ පස්සෙම යන්නෙ මගේ තාත්තව අමතක කරන්නවත් ඒ සිදුවීම අමතක කරන්නවත් බැරි නිසා.

ඉතින්, ඒ කතාව මම දිගටම ලියනවා. නෑ.. ඒ රණවිරැවගෙ ජීවිත කතාව මම ලියනවා.
.