04 November 2012

ඔන්චිල්ලාව

න්තිම සැරේටත්  කඳුළු පිරිලා බොඳ වෙලා තිබුණු ඇස් වැටකෙයියා පඳුරු දිගේ ගිහින් ගේට්ටුව ළඟින් නතර වුනා. ගේට්ටු පළු දෙක හොදටම දිරල ගිහින් තිබුනත් ගාලා තිබුණු සුදු ලැකර් තැනින් තැන ඉතිරි වෙලා තිබුණා.කම්බි කූරු අතරින් බොර පාර වුනු ඇස්පොඩි පාරෙ අනිත් පැත්තෙ තියන දිවුල් ගහ දිහා බලන් ඉන්නෙ ගෙදරට කෙනෙක් එනවනම් මුලින්ම පේන්නෙ එතනින් නිසා.

සඳූගෙ හිත හොඳටම රිදිලා. පුංචි හිතට ඒ හැටි දෙයක් නොතේරුනාට මොකද අද උදේ ඉදන් එයා හිටියෙ දුකෙන්,පාළුවෙන්. ගෙදර මේ වෙන දේවල් ගැන හරියටම මොකුත් කියන්න එයා දැනගෙන හිටියෙ නැති වුනත් ළඟදිම මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවා කියලා හිත නිතරම කිව්වා. ඒ නිසාම එයා හිටියෙ ගොඩක් බයෙන්.

පුංචි අත් වලින් ඇස් දෙක හොඳට පිහදාලා ඉස්තොප්පුවෙ පඩියෙන් නැගිට්ටෙ අම්මා ළඟට යන්න. අත් වල කඳුළු ඉතිරි වෙලා තියනවා දැක්කොත් අම්මා අහන හින්දා අත් දෙක කලිසම පිටිපස්ස පැත්තෙ පිහදාගෙන සඳූ  අම්මා ගාවට ගියා. ඉස්සර අම්මා කවදාවත් දවල්ට නිදියන්නෑ. අම්මා හොදටම නිදි. ඇහැරවලා එයාට කරදර කරන්න බැරි හින්දා ආච්චි අම්මා ගාවටවත් යන්න ඕනෙ කියලා චූටිට හිතුණා.

                                "ආච්චි අම්මේ ........ ඔයා   කො හෙ   ද . . ‍"

ආච්චි අම්මා කාමරේ හිටියෙ නැති හින්දා හයියෙන් කතා කලාට අන්තිම ටික කිව්වෙ එයාටවත් ඇහෙන්නැති තරම් හිමීට. එහෙම කියනකොටම ඉබේටම වගේ ‍ඇසුත් පුංචි වුනා. අම්මා නිදිනේ කියලා එයාට මතක් වුන හින්දා.

ආච්චි අම්මා මල්ලියත් එක්ක මාමලෑ ගෙදර යන්න ඇති කියලා හිත කිව්වා. ඒ එක්කම එයාටත් හිතුණා එහෙ යන්න ඕනෙයි කියලා. තාත්තා එන වෙලාවට දුවගෙන එනවා කියලා හිතාගෙන සඳූත් පිළිකන්න පැත්තෙන් අඩි පාර දිගේ ඇවිදගෙන ගියා.

සුදු පූසි වෙරළු මුල උඩට වෙලා දිවෙන් ඇඟ සෝදනවා දැක්කත් වෙනදා වගේ ඌව අල්ලන්න හිතුනෙ නෑ. තණ කොළ වලින් බේරිලා නයෙක් වගේ ඇදිල තියන අඩි පාර දිගේ එයා ඇවිදගෙන ඉස්සරහට ගියා.

රට අඹ ගහේ අත්තෙ ලණුවකින් පරණ ටයර්එකක් බැඳලා තාත්තා හදලා දුන්නු ඔන්චිල්ලාව තාම ඒ විදිහමයි. ඒක හැදුව දවසෙ අම්මා එයාව තියන් පැද්දුවා.ඊට පස්සේ ආයෙ පද්දවන්න අම්මට කොච්චර අඬගැහුවත් එයා ඒවා ගනන් ගත්තෙවත් නෑනෙ.ඒ පහුවදා තාත්තත් එක්ක නරක වචන කියාගෙන බැනගත්ත හින්දා වෙන්න ඇති කියලා සඳූට හිතුණෙ එතනින් යද්දිමයි.

සඳූට මතක් වුනා ඔන්චිල්ලාව බඳින්න ටයර් එක ගෙනාව හැටි.අමාරුවෙන් තල්ලු කරනවා කියල පෙන්නන්න තාත්තා මහන්සි මූණක් හදාගෙන ගේට්ටුව ළඟ ඉඳන් එනකොට එයයි මල්ලියයි හිටයෙ ඉස්තෝප්පුවෙ ගිනිපෙට්ටි කෝච්චි යව යව.තාත්තව දැකපු හැටියෙ  දුවගෙන ගිහින් පණ්ඩිතය වගේ ටයර් එක තල්ලු කලාට ටයර් එක ඉස්සරහට ගියේ නෑනෙ.තාත්තාත් කරන වැඩේ දිහා බලාගෙන හිටියට තල්ලුවක්වත් දුන්නෑ.අනේ තාත්තේ... කියල එයා දිහා බැලුවහම තමයි තල්ලු කරන්න ආවෙ. දෙන්නම අඹ ගහ යටට යනකං තල්ලු කරනකොට අම්මා කුස්සියෙ පිළිකන්නෙ ඉඳං ඉනෙ අත් ගහගෙන හිනා වෙවී බලන් ඉඳල ඇහුවා බාසුන්නැහැල දෙන්න බරටම වැඩ වගේ නේද කියලා.

අම්මට ඇයි බැරි වෙනදා වගේ ඉන්න.තාත්තත් දැන් එයාට බනින්නෙ නෑනෙ.උඹ ඕනෙ මඟුලක් කරගනින් මං මොකුත් කියන්නෑ කියල එයා ඊයෙ වැඩපලේ ඉදලා ආවට පස්සෙ කිව්වනෙ. ඉතින් අම්මටත් තියෙන්නෙ වෙනද වගේ ඉන්නනෙ.

ඇස් ආයෙම එයාව රිද්දනවා වගේ එයාට දැනුනා.ඔව් ආයෙම තෙත් වෙලා ඒවා. ඔන්චිල්ලාව ළඟ හිත විතරක් නෙමේ පුංචි කකුලුත් නතර වෙලා තිබුනෙ හිත ආයෙමත් දුකින් පුරවලා. කවුරුත් ළඟ පාතක නෑ කියල දන්න නිසා ඇස් දෙකට ආයෙම තරවටු කරන්න ගියේ නෑ.ඔන්චිල්ලාව ළඟට යන්න එයාගෙ හිත කිව්වා. ටයර් එක ඇතුලෙන් කකුල් දාගෙන ඉඳගෙන ඉන්න ආස වුනත් දාර වලට පස්ස රිදෙන හින්දයි ඉඳගත්තට පස්සෙ කකුල් බිම ගෑවෙන්නෙ නැති හින්දයි ඒ වැඩේ අත ඇරියා.




අම්මා ආයෙ හොඳ වුනාම ඔන්චිල්ලාව පද්දවගන්න ඕනෙ. මල්ලියවත් ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නත් පුළුවන්නේ..

අම්මට ඉස්සර වගේ වෙන්න තව ගොඩක් කල් යයිද දන්නෑ. නෑ.. තාත්තත් හොඳ වෙලා ඉන්න නිසා අම්මත් හොඳ වෙයි ඉක්මනට.

"මට උඹව එපා එපාමයි. මේ දරුවො දෙන්නත් එක්ක මං යනවා කොහෙහරි. මං ගියාට පස්සෙ උඹ ඕනෙ මඟුලක් කරගනින්."

ඒ තාත්තා කෑ ගහන සද්දෙ කියල අදූනගන්න සඳූට මහ වෙලාවක් ගියේ නෑ.අඩි පාර දිගේ පා සලකුනු තියමින් එයා ගෙදර දිව්වා.

ඔන්චිල්ලාව එක තැන කැරකෙමින් ඉඳලා නැවතත් නිසල වුනා.

                                  
                                                                       ෴*෴

21 October 2012

මගේ මැණිකේ..

 එදයි අදයි අතරෙ ලොකු වෙනසක් නෑ නේද මැණිකෙ.මං කිව්වෙ අපේ  ආදරේ ගැන.හැබැයි අනිත් හැමදේම වගේ වෙනස් වුනා ඒ ආදරේ ඇර. එදා කිව්වට ගොඩක් ලොකු කාලයක්  නෙමේ වුනාට අවුරුද්දක් විතරම වගේ අපි ඈත් වෙලා හිටියා. ඈත් වුනා කිව්වෙ ළඟින් හිටියෙ නෑ කියල නෙමෙයි ඔන්න. ඔයා ගැන කිසිම තොරතුරක් ආරංචියක් නැතුව, ඔයාව ඇස් දෙකට පේන්න නැතුව ඒ කාලෙ හිටියෙ ගොඩක් අමාරුවෙන්. ඒක අමාරු වැඩක් වුනේ වෙන මොකුත් නිසා නෙමෙයි මැණිකෙ, අපි ගොඩක් ළං වෙලානෙ හිටියෙ ඒ දවස් වල. අනික අපි ඈත් වුනෙත් හිතුවෙවත් නැති විදිහට හදිස්සියෙමනෙ.


                                  



 ඔයාට මතකද මැණිකෙ පන්ති ඇරිලා ඔයා එක්ක ගෙදර ළඟට වෙනකන්ම එනවා.ඒ ඔයාව ඇරලන්න වුවමනාවට නෙමේ.කොහොමත් ඔයාට තනියම ගෙදර යන්න බැරිකමක් තිබුණෙ නෑනෙ මැණිකෙ. ඔයා ළඟින් ටික වෙලාවක් හරි ඉන්න මම ආස කලා. මොනාහරි දේකට හයියෙන් හිනා වෙනකොට ඔයාගෙ ඇස් දිළිහෙන හැටි බලන්න මං ආස වුනා. මං  ඔයාට හැමදාම කියනව වගේ මිනිස්සු වෙන අපි හැමෝම මේ ජීවත් වෙන්නෙ හිතේ තියන හැඟීම් විඳගන්න,විඳින්න කියල. ඉතින් මාත් ඔයා ළඟට වෙලා ජීවත් වුනා ඒ මොහොතෙ.


ඇත්ත, ඒ ‍වෙනකොට ඔයා මගේ වෙලා තිබුණෙ නෑ. ඒ වුනත් මම ඔයාගෙ වුනා මැණිකෙ. ඔයා දැන හෝ නොදැන මං ඔයාව මගේ කරගත්තා. ඒ වෙනකොට ඔයාට මාව වදයක් වෙලා තිබුණා කියලා මම මේ ළඟදි දැනගත්තා. එහෙම වුනු බව මං ඒ කාලෙම දැනගත්තනම් ගොඩක් සතුටුවෙයි. මොකද දන්නවද ඒ කාලෙ මං හිතාගෙන හිටියෙ මැණිකෙ මාව පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ කියලා. කොහොම වුනත් අන්තිමේදි ඔයා මගෙ වුනානෙ මැණිකෙ.


                                               නුඹ දුන්නු තනි තරුව යහන ළඟ ඉකි බිදී..

                                              කඳුළු අතරින් තරුව පවසමියි මෙසේ මට

                                              ඈ වෙනස් වූ නමුදු නුඹ වෙනස් නොවූයේ

                                              ඇයට බැඳි ආදරය අඩු නොවූ නිසාදෝ....

මැණිකෙට මතකද මේ කවිය.අමතක වෙන්න විදිහක්නම් නෑනේද කොහොමටවත්.මොකද ඒ තරමටම මේ වචන ටික අපේ ජීවිත වලට බැඳිල තියෙන්නෙ.එක සීතල රෑක ඇඳේ වාඩිවෙලා ඔයා ගැන හිත හිත ඔයා දුන්නු අර බිත්තියෙ අලවන්න පුළුවන් තරුව දිහා බලාගෙන හිතට ඒ වෙලේ ආපු වචන ටිකක් ගලපලා ලියපු මේ කවියට ඔයා ගොඩක් ආසා කලා.

මම මේ වෙනකන් දන්නෑ ඔයා ඇයි මේ කවියට ඒ තරමටම ආසා කලේ කියලා.මේ පද වලින් කියවෙන තේරුම ඔයා දන්නව කියලා මං දන්නවා. එහෙම තියෙද්දිත් මේ කවිය ඔයාට කියවන්න දුන්නු පළවෙනි දවසෙම අනිත් නිසදැස් වලට වඩා ඔයා මේ කවියට ආසා වුනා.

මම අහන්නෑ ඇයි එහෙම වුනේ කියලා.සමහර විට එහෙම ඇහුවොත් මැණිකෙට එකපාරටම උත්තරයක් දෙන්නත් බැරිවෙයි.

ඒ කවිය ඔයා වෙනුවෙන් මම ලිව්වෙ ඇයි කියල අදටත් මම දන්නෑ. සමහර විට ඒ ඇයි කියලා හිතන්න මම කැමති නැතුව ඇති. මොක වුනත් එදා වගේම මම ඔයාට ආදරෙයි. හැම මොහොතකම ඒ ආදරේ ඔයා වෙනුවෙන්මයි මගේ වස්තුවේ..

තව ගොඩක් දේවල් හිතේ එකතු වුනා මේ ලිවුම ලියලා ඉවර කරන්න හදනකො‍ට.ඒ හැමදේම මට මැණිකෙට කියන්න ඕනි. ඉතින් මගෙ පණ මම දැන් නවතිනවා. ආයෙම ලියන්නම් මම. බුදු සරණයි මගෙ මැණිකේ. මම හැමදාම කියනව වගේ සතුටින් ඉන්න.

                                                                     මේ ඔයාගෙම,
                                                                                 පණ..
                                                                                      .

16 July 2012

ඔහු කවියෙකුද විය.

තාත්තාගෙ දිනපොත් පෙරලලා බැලුවා පහුගිය දවසක. බලන්න කලින් අවසර ගන්න එයා ළග නැති නිසා අම්මාගෙන් අහලා අවසරේ ගත්තා. දෙමළෙන් ලියපු දිනපොත් ගොඩක් තිබුනත් සිංහලෙන් ලියලා තියන පොත් දෙක පිටුවක් නෑර කියෙව්වා. දුකක් විතරක් හිත ඇතුලෙ හිරවුනා වගේ දැනුනා කියෝලා ඉවර වුනාම. 

මේ නිදසැස් ඒ පිටු අතර සටහන් වෙලා තිබුනා.




අද නිදහස් දවසලු
සිංහ කොඩිත් උස්සනවලු

දමා පපුව පෙරට,
සිට ගෙන සීරුවට
ගයනවලු ජාතික ගීය

අපි හිරේ..
අපිට කොයින්ද ඒ වගේ ජොලියක් !


1997 පෙබරවාරි මස 4 වන දින පලාලි පොලිස් මුරපොලේ දී.



____________________________________



ගම්මානේ කෙලවරේ
නිල් විලේ නෙළුම් මල
     සැඩ හිරුට ඉඩ දෙමින්___යන්න යයි
සුදෝ සුදු කුමුදු මල්

අබල දුබල වූ දිනපති
සීතල වූ මහ පොළොව උඩ
වැතිරුනා අමාරුවෙන්

වසන්තයේ අරුණෝදය
ගෙවී යයි හෙමි හෙමින්
ඉකිබිඳිති
දුක හිතුනු වැහි බිංදු මහ පොළොව වසා ගෙන

මල් සුවඳක් නම් නොව
කවර අතකින් එම් ද මේ සුවඳ
වැටහුනේ දැනුයි මට
බඩ ගින්නේ වැලි කතරේ
උතුරු රණ බිම මැද්දේ
යුද වදින විරුවන්ගේ
ලේ කඳුළු දා බිංදු
සුවඳමයි මේ එන්නේ


________________________________



 නිමා නොවන යුද්ධයකි
මේ___
තැලෙන්නේ කවුද
 මගේ දරුවන් මිසක
ගැහැණු දෙදෙනෙකුට මැදි වූ මිනිසා තරම්
දුක් විඳින අයෙකු
    මිහිපිට ඇත්ද___

එක් අතකින් අම්මා
අනිත් අතින් මගේ බිරිඳ


_____________________________________________




(යාළුවනේ සමාවෙන්න ඔයාලගෙ බ්ලොග් කියවන්න එන්නෙ නැති එකට.මේ දවස් වල වැඩ ගොඩයි.වෙලාවක් ලැබුනහම අනිවාර්යෙන් එන්නම්)


04 July 2012

මරණයට අයදුමක් - 9 වන පරිච්ඡේදය (අවසන් කොටස)


කාරය ඒ කඳුකර මාර්ගයේ හෙමිහිට ඉදිරියට ඇදෙමින් තිබිනි. හිරු රැස් මදින් මඳ මෝදු වෙමින් තිබුනු ඒ උදෑසන මදන් කාරයේ වේගය මඳක් තීවෘර කලේ ය.
"බාප්..පේ...හිමින් යමුකෝ..."
ජෝති සිය බාප්පා මදන්ගේ අතේ එල්ලීගෙන පැවසුවා ය.
"ඇයි බයද හයියෙන් යනවට"
"මම නම් බය නෑ.. හැබැයි ජෝති බයයි වගේ.." කෝකිලා ජෝති දෙස බලමින් සිනාසුනාය. 
 මදන් ජෝති දෙස බලමින්,
ජෝති ඔයා බයෙන් වගේ ඉන්නේ ඇයි දුවේ...
"හී...හී... තව හයියෙන් යන්න බාප්පේ.. යන්න යන්න තව හයි..යෙ..න්"
මදන් සිනාසී, "අන්න එහෙම කියන්නකෝ බබෝ.." කියා ජෝති ගේ සිනිඳු කම්මුලට තට්ටු කලේ ය.

කාරය හඬ නගමින් වංගුවක් පසු කලේ ය. මාර්ගයට එපිටින් වූ ප්‍රපාතය දුටු කෝකිලා තැති ගත්තාය. "ප්‍රපාතයට වැටුනොත්..!" ඇය සිතුවාය. ජෝති තම බාප්පා අසලට තවත් කිට්ටු වී ඔහුගේ මුහුන තමන් වෙත හරවා ගැනීමට උත්සහ කරන අයුරු ඈ දුටුවා ය.
"ඇයි ජෝති..."
"බාප්පේ... කාර් එක අයිනෙන් ටිකක් නවත්තන්නකෝ... අනේ බාප්පේ.. අනේ.."
ඇය සුරතල්  හඬින් ඉල්ලා සිටියා ය.
"මොකටද ඉතින් නවත්තන්නේ..."
"මම උඩ ඉඳල පහල බලන්න හරි ආසයි බාප්පේ.. ගස් එහෙම චූටියටනෙ පේන්නේ.."
"එපා දුව අපිට පරක්කු වෙයි" කෝකිලා මැදිහත් විය.
"අ..නේ... විනාඩි පහයිනෙ පුංචි.. අනේ ඉතින්..."
"හොඳයි හොඳයි එහෙනම් විනාඩි පහයි හොඳද" කියමින්ම මදන් රථය පාර අයිනේ ප්‍රපාතට ආසන්නව නැවැත්වීය.
"එන්ජිම නවත්තන්න එපා බාප්පේ... කාර් එකේ ඉන්න ගමන්ම බලලා යමු. කෝ ඉන්න...මම බාප්පගේ ඩ්‍රයිවින්  සීට් එකට එනවා"
කෝකිලා ක්ෂනයකින් බියට පත් වූවා ය.

"මෙයා මේ ගමන එක්කන් ආපු එක වැරදියි. අපි දැන් කොයිම්බතූර් යනකොට මඟුල් ගෙදර ඉවර වෙලා තියේවි." ඇය සිතුවා ය.

තමා දෙස නොරුස්සන සුළු මුහුනින් යුතුව බලා සිටින පුංචි දෙස බලා ජෝති,
"සොරි පුංචි අම්මේ... තව විනාඩි දෙකක්"

ජෝති රියදුරු අසුනේ හුන් මදන්ගේ ඇකයට පැන පහතින් පෙනෙන ප්‍රපාතය දෙස එබී බැලී ය. ගල් කුළු හා කුඩාවට පෙනෙන ගස්කොලන් දෙස උමතු ආශාවකින් ඈ බලා සිටියා ය.


"බාප්පේ.. අපි තුන් දෙනාම මෙතැන ඉඳල පහලට වැටුනොත් මොකක් වෙයිද?" ජෝති බාප්පාගෙන් විමසීය.
"ඒයි කෙල්ලේ... නරක කතා කියන්න එපා.. ඔයාගෙ අම්මා ගිය තැනට ඔයාට ඕනැනම් යන්න. අපි එන්නෙ නෑ.."

අම්මා යන වචනය ඇසුනු සැනින් ජෝති මහ හඬින් හඬන්නට පටන් ගත්තා ය. ඇගේ මුහුන යක්ෂාරූඩ වූවකු ගේ මෙන් විය. ඇය දෑස් අත්ලෙන් තද කරගෙන තදින් තෙරපන්නට වූවා ය.
"මම ඔයාල දෙන්නවත් අම්ම ගිය ලෝකෙට එක්ක එනවා කියලා අම්මට පොරොන්දු වුනා.."
"මොකක්ද උඹ කිව්වේ..."

"ඇත්තමයි පුංචි අම්මේ..."
"බලන්න මදන් මේ ලමයා කියන දේවල්" කියමින් කෝකිලා මදන් දෙසට හැරුනා ය.
ඒ සුළු මොහොතින් ජෝති තම සිඟිති පය ඇක්සලේටරය මත තබා තද කලා ය. කාරය එකවරම ඉදිරියට ඇදී ගියේ ය.
"අයියෝ........"
ගුවන් ගැබ සිසාරා ඒ හඬ ගිගුම් දුන්නේ ය.
"අම්..මා......."
ජෝතිගේ සියුමැලි හඬද ඒ හා මුසුව ඇසිනි. නමුත් ඇගේ මුහුන මත භයංකාර සිනාවක් මිස බියක ලකුණකුදු නොවීය.

කාරය ප්‍රපාතය මතින් ගුවනේ ඉගිල ගියේ ය.



                                       ____ සමාප්තයි____



මරණයට අයදුමක් රහස් පරීක්ෂක කතාව මෙතනින් අවසන් වෙනවා. 

නෑ... කතාව අපි අපි වගේ බ්ලොගයෙන් අවසන් වුනාට මෙතනින් මේ කතාව තවත් තැනකට යනවා. ඒ අච්චු අකුරු තියන සුදු පාට පිටු අතරට. එහෙම ගෙනියන්න තව ටික කාලයක් යයි. නමුත් කවරදාක හරි මරණයට අයදුමක් පොතක් වෙයි. ඒක තමයි තාත්තගෙ හීනය. ඒ හීනය මගෙයි දැන්. ඒ හීනෙට ලං වෙන්න වචනෙකින් හරි උදව් කලේ කියවන ඔයාලා.

                                          ඉතින් යාළුවනේ ඔයාලට ස්තූතියි...

03 July 2012

මරණයට අයදුමක් - 8 වන පරිච්ඡේදය

1 වන පරිච්ඡේදය

වෙලාව උදෑසන  හයයි. ඒ ශෙක්කල් මූඩි වෙතට උදා හිරැ රැස් පතිත වූ වෙලාවයි. අජයගේ කාමරයේ සිට ඔහුගේ මෘත ශරීරය එළියට ගනු ලැබුවේ මරණ පරීක්ෂණය සඳහා එය රෝහල වෙත රුගෙන යාමටය. මෘත ශරීරය සුදු වෑන් රථයට නංවා පිටත් වන විට රථය පසු පසින් ලක්ෂනා විසින් පැද වූ ඇම්බැසඩර් කාරය තුල ජෙගදාම්බාල්, විවේක් හා ගෝකුල් නාත් වාඩි වී සිටියහ. ලක්ෂනා ඉකිඟසමින් කාරය පැදවූ අතර ජෙගදාම්බාල් කාරයට හිස හේත්තු කොට ගෙන දෑස් පියාගෙන සිටියා ය. විවේක් ජනේලයට පිටතින් පෙනෙන පරිසරය බලමින් ගමන් කල අතර ගෝකුල් නාත් තද කල්පනාවක නිමග්නව සිටියේ ය.

ජෙගදාම්බාල් දෑස් හැර ඇඬුම් බර ස්වරයෙන් "මල්ලී..." යනුවෙන් පැවසි ය.

"ඇයි නෝනා..."

"අපි මීට පස්සේ ඒ බංගලාවේ ඉන්නෑ. ඒක ගෙයක් නෙමේ අමු සොහොනක්.අජයගේ වැඩ කටයුතු ඉවර කරල අපි ඔක්කොම වල්පාරෙයි වල තියන වත්තට යනව. කොයිම්බතූර් ගිය මදන්ටයි කෝකිලාටයි මේ ගැන දන්වන්න ඕනෙ. එයාල ඉක්මනින්ම කැඳවන්න ඕනෑ.."

"පොල්ලච්චි පොලීසියට කාර් එකේ අංකෙ දුන්නා. තව ටිකකින් පොලිච්චි වලින්  එයාලව නවත්තල ආපහු එවාවි."

ලක්ෂනා ඇඬුම් ස්වරයෙන් සිය කටහඬ අවදි කලා ය.

"මිස්ටර් විවේක් අපි කාටවත් වරදක් කරපු අය නෙමෙයි. කවුදෝ අපිව ඉලක්ක කරගෙන එක එක්කෙනා මරල දානවා. ඔයාල දෙන්නා අපේ බංගලාවෙ ඉන්න වෙලාවෙයි මගෙ අයියට මේ දේ සිද්ධ වුනේ.."

"මිනීමරුව අල්ලගන්න පුළුවන් ලක්ෂනා.."

ලක්ෂනා මඳක් කේන්ති ස්වරයෙන්,

"කවද්ද සර් අල්ලගන්නේ... අපිවත් මරල දැම්මට පස්සෙද?"

විවේක් ඇයට පිලිතුරක් දීමට ප්‍රථම වෑන් රථය රෝහල් ගේට්ටුව පසුකර පෝටිකෝව යට නතර කෙරෙනි.
ලක්ෂනා කාරය මඳක් එපිටින් නතර කලා ය. විවේක් හා ගෝකුල් නාත් මෘත ශරිරය පිළිබඳ අදාල කටයුතු සිදු කිරිම සඳහා කාරයෙන් බැස රෝහල තුළට ගමන් කලේ ය.

 ලක්ෂනා සිය මව දෙස බලමින්,

"අම්මා..."

"ඇයි දුව"

"ඔයා ඉස්පිරිතාලෙ ඉන්න මම ආපහු ගිහින් තාත්තව බලන්න ඕනෙ. මරණ පරීක්ෂනෙ ඉවර වුනාම මට ටෙලිපෝන් කරන්න මම එන්නම්."

"තාත්තගෙ ආරක්ෂාවට දැන් එහෙ පොලීසිය ඉන්නවා. ඔයා දැන් යන්න හදන්නෙ ඇයි දුව. මට සිහියත් හොඳමදි. මේ වෙලාවේ ඔයා මාව දාලා යන්නෙ ඇයි දුව" යි කියමින් ජෙගදාම්බාල් සිය දියණියගේ අත වැරෙන් අල්ලා ගත්තා ය.

"නෑ අම්මා.. අපි ගෙදරින් එළියට එනකොට තාත්තා හරි දුකෙන් වගෙයි බලාගෙන හිටියේ.. මේ වෙලාවෙ අපි කවුරු හරි තාත්තා එක්ක ඉන්න ඕනෙ. මම ගිහින් පැය භාගෙකින් එන්නම්."

"එහෙනම් ඉක්මනට එන්න දුව"

ලක්ෂනා ජෙගදාම්බාල් සනසා කාරය පණගන්වා වේගයෙන් ඉගිල ගියා ය.උදෑසන ජනගහනයෙන් තොරව තිබූ ෂෙක්කල් මූඩි මහාමාර්ගයේ විනාඩි දහයක වේගයෙන් ගමනකින් අනතුරුව කාරය බංගලා ගේට්ටුව පසුකර පෝටිකෝව යට නතර කෙරිනි. පෝටිකෝවේ රැදී සිටි පොලිස් නිලධාරීන් දෙස  නොබලාම ඇය ඇගේ පියා සොයා උඩුමහලට දිව ගියා ය. අතර මඟ හිටි හැටියේම යමක් මතක් වූ ලෙසින් අජය ගේ කාමරයේ දොර විවර කර එතුලට ගියා ය.

කාමරය තුළ වූ ලී අල්මාරිය විවෘත කර එය පරීක්ෂා කිරීමට පටන් ගත්තා ය. එතුලින් නැවුම් කපුරු සුවඳක් වහනය විය.

අල්මාරියේ තට්ටු මත නවා තබා තිබූ අජයගේ ඇඳුම් ඇඳ දමමින් ඇය යමක් සොයයි. විනාඩි දහයක දැඩි සෝදිසියකින්  පසු ඒ කුඩා දින පොත ඇය සොයා ගත්තා ය. ඇගේ මුහුණ තුලින් සියුම් සතුටක සේයාවක් කඳුළු අතරින් මතු විනි.

ඇය වේගයෙන් දින පොතහි පිටු පෙරලුවා ය. ඇය පොත පෙරලූ වේගයට එහි සමහර පිටු ගැලවී විසිවිනි. දින පොතේ අවසන් පිටුවට අලවා තිබූ ඒ කාන්තා සේයාරුව පිටුවත් සමඟින් ඉරා තම බ්ලවුසය තුල සඟවා ගත් ඈ එළියට ඇඳ දැමූ සියලු දේ නැවත අල්මාරිය තුලට ඔබා කාමරයෙන් පිට වී යන අදහසින් ආපසු හැරුනා ය.

පුදුමයකි! විවේක් දොර අසල දෑත් පිටුපසට රඳවාගෙන මඳ සිනාවකින් යුතුව රැඳී සිටියේ ය.

"විවේක්...!!"

විවේක් තම සිනාව පාලනය කරමින්,

"මේ පොලිස්කාරයෝ බොහොම නරකයි ලක්ෂනා.. ඒ අයට සැක හිතෙන විදිහට කිසිදෙයක් කරන්න හොඳ නෑ. ඔයා ඉස්පිරිතාලේ ඉඳල හදිස්සියෙම පිටත් වෙන වෙලාවෙ මම දොස්තර මහත්තයාගෙ ස්කූටර් එක ඉල්ලගෙන ඔයාව ෆලෝ කලා. නමුත් ඔයා බොහොම වේගෙන් කාර් එක එළෙව්වා. කමක් නෑ.... දැන් කියන්න  අජයව මැරුවෙ මොකද කියල. මීට කලින් අර සුපවයිසර්ල තුන් දෙනාව මැරුවෙ මොකද කියල.."

"නෑ...නෑ...."

ලක්ෂනා බියෙන් කෑ ගැසුවා ය.

"මොකද නෑ කියන්නේ..?"

"මම කාවවත් මැරුවෙ නෑ..."

"ඔයා මැරුවෙ නැත්නම් අජයගේ අල්මාරිය අවුස්සල දිනපොතක් හොයාගෙන ඒකේ සමහර කොල ඔයාගෙ හැට්ටේ අස්සේ ගහගත්තේ මොකටද? ඩයිරියෙ අලවල තිබුණු අර ‍ෆොටෝ එක ඉරල ගත්තෙ ඇයි ? ඒ ෆොටෝ එකේ හිටියෙ කවුද? ඔයා මොකක් හරි ලොකු වරදක් කරනවා ලක්ෂනා...."

"ඒ....ඒ... ඒක..."

"කියන්න... කියන්න"

ලක්ෂනා තම බ්ලවුසය තුළ වූ දේ එළියට ගත නොහැකි වනසේ පපුව දෑතින් තද කරගත්තා ය.

"ඒ ෆොටෝ එක මට දෙනව ලක්ෂනා... නොදුන්නොත් මේ මොහොතෙම පොලීසිය මෙතන්ට කැඳවන්න මට පුළුවන්."

"එපා....!" කියමින් ලක්ෂනා මෙතෙක් වේලා තම බ්ලවුසය තුළ සඟවාගෙන සිටි සේයාරුව ඉන්ස්පෙක්ටර් වරයා වෙත දිගු කලා ය. විවේක් ඒ සේයාරුවට දෑස් යොමු කලේ ය.

ඒ දුටුවන් මන්මත් කරන සුන්දර යුවතියකගේ සේයාරුවකි. එහි පිටුපස 'ඔබට මම ආදරෙයි රෑපිකා' යනුවෙන් සටහන් කොට තිබිණි. විවේක් ලක්ෂනා දෙසට හැරී,

"කවුද මේ රෑපිකා..? රෑපිකාත් අජයත් අතර තියෙන සම්භන්දෙ මොකක්ද?"

"ඒ දෙන්නා ආදරේ කලා.."

"අජය විවාහවුනු කෙනෙක්. රෑපිකා ඒ බව දන්නවද? අජය රෑපිකා විවාහ කරගන්න   හදන වෙලාවේ එයාගෙ කලින් බිරිඳ ලීලාවතී හරස් වුනා නේද?"

"හ්ම්... ඔව්"

"මම හිතන විදිහට ලීලාවතී සාමාන්‍ය කෙනෙක්. තේ වත්තෙ වැඩකරන කෙනෙක් බඳිනවට ඔයාලෑ අම්මා තාත්තා කැමති වුනේ නෑ නේද?"

"ඔව්"

"හොඳයි දැන් කාරණේට බහිමු. ඔයා ඔයාගෙ අයියව මැරුවෙ ඇයි?"

"මම මැරුවෙ නෑ..."

"එහෙනම් කවුද මැරුවේ... කියන්න බලන්න."

ලක්ෂනා ඔහුගේ පැනයෙන් නිරුත්තර වූවා ය.

"ඔයා මෙහෙදි මේ ගැන කියන්න කැමති නෑ  වගෙයි. එහෙනම් අපි පොලීසියට යමුද? මම ජිප් එකට කතා කරන්නම්" කියමින්  විවේක් දුරකථනය අතට ගත්තේ ය.

"එපා මිස්ටර් විවේක්...."

"එහෙනම් මට ඇත්ත කියන්න"

ලක්ෂනා තම වෙව්ලන දෙතොලින් කතාව ආරම්භ කලා ය.

"මාස තුනකට කලින් දවසක ලීලාවතී ජීවත්ව ඉන්න කාලෙ මගෙ ලොකු අයියා අජයත් දෙවැනි අයියා මදනුත්, මගේ නෑනා කෝකිලාත් ඉස්තෝප්පුවේ වාඩිවෙලා කතා කර කර හිටියා. මම නිකමට ඒ පැත්තට යනකොට එයාල කතා කරමින් හිටපු දේවල් මට ඇහුනා. ලීලාවතී ඒ වෙලාවෙ එතැන හිටියෙ නෑ. ලීලාවතීට විෂ බෙහෙතක් විඳල එයාව ඉවර කරල වතු කාරයෙකුගේ දුවක් වන රෑපිකා විවාහ කරගන්න එක ගැන එයාල කතා කරමින් හිටියා. මම කාමරේට ඇතුල් වෙනකොටම එයාල තිගැස්සුනා. ඒ වෙලාවෙ අජය අයියා කිව්වා ලීලාවතී බැන්ඳෙ ආසාවට බවත් දේපලත් එක්ක මේ ගෙදරට එන්න ඉන්න රෑපිකාට බාධාවක් වෙලා ඉන්න ලීලාවතීව ඉවර කරන්න ඕනෙ කියලා. ඊළඟ සතියේ මම ගෙදර හිටියෙ නෑ. ඒ සතියෙ ලීලාවතී විෂ උණක් හැදිලා මැරුණ කියල ගම පුරාම ප්‍රචාරයක් කලා. අජය  තමන්ට එල්ල වෙන සැකයෙන් බේරෙන්න බංගලාව පිටිපස්සේ සිහියවටනයකුත් පිළිමයකුත් හදලා ඒකට වත් පිලිවෙත් කලා" කියමින් නොනවත්වා කරගෙන ගිය කතාව මඳක් නවතා ලක්ෂනා ගැඹුරු හුස්මක්  ගත්තා ය.

"අපේ අම්මත් තාත්තත් මේ ගැන දන්නෙ නෑ.මේ ගැන පොලීසිය දැනගත්තොත් පවුලට අවමානයක් වෙයි කියල මම කාටවත් කිව්වෙ නෑ. නමුත් ලීලාවතීට විෂ බේත් විද්ද එක  ඒ කාගෙ  හිටපු සුපවයිසර් කෙනෙක් කොහොමහරි දැනගත්තා. එයා අයියව බ්ලෙක්මේල් කරන්න පටන් ගත්තා. මදන් අයියා එළියෙ සුපවයිසර්ගෙ කාමරේ කරන්ට් වයර් වලට මොනවද කරල සුපවයිසර් ඒකට මාට්ටු කරල කරන්ට් වැදිල මැරුනු විදිහට වැඩේ කලා. නමුත් එයාට පස්සේ ආපු සුපවයිසර් ඇත්තටම කුරුදියාරු ඇලේ වැටිල තමයි මැරුනෙ."

දැන් සති දෙකකට කලින් අජය අයියා මුරකාරය ගැන සැක කරන්න පටන් ගත්තා.මදන් අයියත් එක්ක එකතු වෙලා මුරකාරයා ජීවතුන් අතර තියන්න හොඳ නෑ කියලා මුරකාරයව මරල දැම්මා" කියමින් ලක්ෂනා නැවතත් කඳුළු සලන්නට පටන් ගත්තා ය.

"මුරකාරය මරල දාපු දවසෙම තමයි  පවිත්‍රන් වත්තෙ වැඩ ඉල්ලගෙන ආවේ. අයියල එයා වත්තෙ වැඩට ගිය වේලාවෙ එයාගෙ පෙට්ටිය අවුස්සල බලලා එයා පොලිස් නිලධාරියෙක් බව දැනගත්තා. ඊට පස්සේ අයියල එයාගෙ ඉරණමත් විසඳුවා."

විවේක් තම කලිසමේ සාක්කුවට අතයවා එතුලින් සිගරුට් පැකට්ටුවක් ගෙන එයින් එකක් දෙතොලෙහි තබා දැල්වී ය.

"ඉතින්.. ඉතින්... අජයව මරලා දැම්මේ කවුද?"

"ඒක මම දන් නෑ විවේක්. අජයගේ මරනය ගැන පරීක්ෂණ පවත්වනකොට ඔයාල මේ කාමරේ පරීක්ෂා කරනබව මම දන්නවා. මේ කාරණේ හින්දා මේ ඩයිරිය ඔයාලට අහුවෙලා රෑපිකාගේ කතාව එළියට එන හින්ද මේ කාරණේට මගෙ දෙවැනි අයියාවත් එයාගෙ බිරිඳවත්  කාරදරේ වැටෙයි කියලයි මම මේ දිනපොත අරගෙන විනාශ කරල දාන්න හිතුවෙ. ඒත් මගේ හදිස්සිය නිසා සේරම ඔයාට අහුවුනා."

"මදන්ගේ කාමරේ කෝක ද?"

"එන්න පෙන්වන්නම්"

ලක්ෂනා විවේක් කැඳවාගෙන මදන්ගේ කාමරය ‍අසලට යනවාත් සමඟම විවේක් නැවතුනේ ය. ඉදිරියෙන් ගමන කල ලක්ෂනා ආපසු හැරී බැලුවා ය.

"එන්න සර්"

"පොඩ්ඩක් ඉන්න ලක්ෂනා... මේ කාමරේ කාගෙද?"

"මේක ජෝතිගෙ සර්..."

"මේ කාමරෙත් බලාගෙනම යමු" කියමින් විවේක් කාමර දොර තල්ලු කලේ ය.

"ඒ පොඩි දරුවගෙ කාමරේ මොකටද සර් බලන්නේ..." ලක්ෂනා විවේක්ගෙන් විමසීය. ඇගේ ඉල්ලීම කෙරෙහි සැලකිල්ල නොදැක් වූ විවේක් දොර මත සටහන්ව තිබූ ලේ සලකුන ලක්ෂනා වෙත පෙන්වා කාමරය තුලට පිවිසියේ ය. දොර දෙසට ගලා එමින් තිබූ ඒ රුධිර ධාරාව දුටු ලක්ෂනා පුදුමයට පත් වූවා ය.

දෙදෙනාම ජෝතිගේ කාමරය පරික්ෂා කලෝය. කුඩා කාමරයක් වූ එහි මැද කුඩා මේසයකි. මේසය මත කුඩා විදුලි පහනක්ද පාඩම් පොත් කීපයක්ද තිබේ. පොත් තබන කුඩා අල්මාරියක්ද පාසල් නිල ඇදුම් කීපයක්ද එහි එහි තිබිනි. බිම වැටී තිබූ ලේ පාර ටීපෝව යටින් ගලා එමින් පැවතිනි.

විවේක්ගේ උකුසු දෑසට ටීපෝව යට තිබූ රෙදි පොට්ටනියක් වැනි දෙයක් හසුවිනි. ඔහු අත දිගුකර එය එලියට ඇද්දේ ය. එය තදින් ගැටගසා ඇත.

එතුලින් ජල්...ජල්... යනුවෙන් වලලු ගැටෙන හඬක් නැගිනි. විවේක් ඒ පොදිය දිග හැරීම ආරම්භ කලේය. එතුල වූ දේ දුටු දෙදෙනාගේ දෑස් අදහාගත නොහැකි විය. ලේ පෙරෙන  තණකොළ කපන පිහියක්ද, වලලු කීපයක්ද, කුඩා ලාම්පුවක්ද, සේයාරුවක් ද එහි විය.


සේයාරුව අතට ගත් විවේක් එය පරීක්ෂා කලේ ය. එය රුද්‍රා මහතාගේ පවුලේ සේයාරුවකි. රුද්‍රා මහතා හා ජෙගදාම්බාල් සිනාමුසු මුහුනින් යුතුව වාඩි වී සිටී. ඔවුන් වටා අජය, ලීලාවතී, මදන්, කෝකිලා, ලක්ෂනා හා ජෝති රැස්ව සිටී. මදන් හා කෝකිලාගේ මුහුණු පැන්සලකින් රවුම් කර තිබිනි. සේයාරුව පිටුපස අපැහැදිලි කුඩා දරුවකුගේ අකුරින්,

"අම්මා මරපු අයව මම මරනවා. මුලින්ම තාත්තව. ඊට පස්සේ බාප්පා පුංචි අම්මා" යනුවෙන් සටහන්ව තිබිනි.

විවේක් ක්ෂනයකින් නැගී සිටියේ ය.

"ලක්ෂනා.. ජෝතිගේ හිත ඇතුලෙ ලොකු දුකක් තිබිල තියනව. ඔයාල කිසි කෙනෙක් එයාව තේරුම් අරගෙන නෑ. නමුත් මේ දරුව අම්මගෙ මරණය තමන්ගෙ දෑසින්ම දැකල තියනව."

"ජෝති එයාගෙ අම්මට හරි ආදරෙයි මිස්ටර් විවේක්.. නමුත්..! නමුත් ලීලාවතී අක්කා මැරුනු වෙලාවෙ එයා ඇඬුවෙ නෑ. ඔහේ බලාගෙන හිටියා මිසක් සතියක් දෙකක් යනතුරු එයා කා එක්කවත් කතා කලෙත් නෑ. කෑම කෑවෙත් නෑ. රූ වෙනකම් සිහිවටනය ළඟ ඉඳගෙන හිටියා. දුකයි කියලයි අපි හිතුවෙ. ඒ ලමයගෙ හිත ගිනි කන්දක් වෙලා තියන බව අපි දන්නෑ."

"ලක්ෂනා දැන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ. මදන්නුයි කෝකිලයි ජෝතියි කාරෙකේ ගියා. ජෝති ඒ දෙන්නවත් මරල දාන්න ඉඩ තියනවා."

ලක්ෂනාගේ දෑස් විමතියෙන් බැබලිනි. දෙදෙනාම ටෙලිපොනය වෙත දිව ගියහ. විවේක් ටෙලිපෝනය අතට ගෙන අංකයක් කැරකවී ය.

"හලෝ.. පොලීසියද.."

"ඔව්"

කෙලවරින් ඉන්ස්පෙක්ටර්වරයාගේ කටහඬ ඇසිනි.

"මදන්ගේ කාර් එක ගැන මොනවහරි තොරතුරක් ලැබුනද?"

"තවම නෑ සර්.."

"ඉක්මනට සියලුම චෙක් පොයින්ට් වලට  මේ වාහනේ නම්බර් එක දන්වන්න. අර පොඩි ලමයා ජෝති නිසා මදන්ගේත් කෝකිලාගේත් ජීවිත වලට අනතුරක් වෙන්න පුළුවන්."

"ජෝති...!!"

"ජෝති තමයි. දැන් එයා සාමාන්‍ය තත්වෙ නෙමෙයි ඉන්නේ.. තාත්තව මරල දාල හොර පූසියක් වගේ අත්තම්මා ළඟ නිදාගෙන ඉඳලා මදනුයි කෝකිලයි එක්ක ගිහින්  තියනවා.."

"යස්.. ශී ඊස් වෙරි ඩේන්ජරස් ගර්ල්..!"



                                                *෴ ෴ *

අවසන් පරිච්ඡේදයෙන් හමුවෙමු එහෙනම්.
ආ... පොටෝව ගුගල් දෙයියන්ගෙන් නෙමෙයි. හදලයි දැම්මේ. අම්මේ මාර අමාරු වුනා මේ ටික හදාගන්න. :D                                    

29 June 2012

මරණයට අයදුමක් - 7 වන පරිච්ඡේදය

මුල් පරිච්ඡේද

දින තුනක්ම කිසිදු වෙනස්වීමක් නොමැතිව ගතවී ගියේ ය. ගෝකුල් නාත් හා විවේක් දිවා කාලයේ මඳ වේලාවක් නිදා ගනිමින් රාත්‍රී කාලය බංගලා වත්ත අඟලක් නෑර සෝදිසි කලේ ය. නමුත් ඔවුනට සැක සහිත කිසිවක් සොයා ගැනීමට නොහැකි විනි. සිව්වන දින හිමිදිරි උදෑසන තම කාමරය ඉදිරිපිට වූ අසුන් මත වාඩිවී සිගරැට් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ය.

"විවේක් අපි මේ බංගලාවේ ඉන්න නිසා මිනීමරුව තමන්ගෙ උපක්‍රමය මාරු කරල වගෙයි. අපිත් අපේ උපක්‍රමය මාරු කලොත් හොඳයි නේද?"

"ඔව්, ඒක කරන්නේ කොහොමද කියල ඔයාම කියන්න බලන්න"

"අපි ආපහු මැඩ්රාස් යන බව කියල මේ ගමේම හැංගිලා ඉඳල බංගලාව ගැන ඇහැ ගහගෙන ඉමු"

"මිනීමරුව ඒතරම් ලේසියෙන් රවට්ටන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නෙ නෑ"

ගෝකුල්නාත්  ස්ථිර හඬින් "අපි තව ටිකක් ඉවසමු" යි පැවසීය.

"මිනීමරුව කොයි වෙලාවේ හරි එළියට එන්න ඕනෑ. අපේ මැරුණු පරීක්ෂක පවිත්‍රන් මේ සිහිවටනය ලඟ පහනක් පත්තු වෙමින් තිබුනු බවත් වළලු සද්දයක් ඇසුනු බවත් මැරෙන්න කලින් කියලා තිබුනා. නමුත් අපි මේ හිටපු දවස් ටිකට අපිට එහෙම දෙයක් ඇහිලවත් දැකලවත් නෑ"

ගෝකුල් නාත්ගේ පැනයට පිළිතුරු දීමට සූදානම් වත්ම තමා දුටු දෙයින් විවේක්ගේ බැල්ම තියුනු විය.
"ගෝකුල් නාත්!"

"ඇයි විවේක්?"

"බංගලාව පැත්තේ ලයිට් එළියක් පේනවා.."

"කවුරු හරි නැගිලටා වැසිකිලියට යන්න ඇති" ගොකුල් නාත් විමසිලිමත් දෑසින් බංගලාව දෙස බලමින් පැවසී ය. ඉදිරි සාලයේ ජනෙල් අතරින් හතරැස් එළි කදම්භයක් ගෙමිදුලට පතිත වී තිබිණි. ඒ එළිය තුලින් දෙදෙනෙකුගේ රුව දිස් විනි.

"මේ වෙලාවෙ කවුද මේ..."

"කවුද කියලා ගිහින් බලමුදැයි" කියමින් විවේක් තම අසුනෙන් නැගිට බංගලාව දෙසට පය එසවී ය. ගෝකුල් නාත් ඔහු අනුකරණය කරමින් ගමනට එකතු විය. දෙදෙනාම පෝටිකෝව යටට පැමිණි වහාම පෝටිකෝවේ විදුලි බල්බය දැල්විනි. ඒ සමඟම ඉදිරි දොරේ අඟුල කැරකෙන ශබ්දය ඇසුනි. විවර වූ දොරෙන්  නිවස තුළ සිට අළුත්ම සපාරි ඇඳුමකින් සැරසී මදන් එළියට පැමිනියේ ය. ඔහු අසලින්ම කෝකිලා පට සාරියකින් සැරසී හිසෙහි මල් ගවසා සිටියේ ය.

"ගුඩ් මොනින්! කොහෙ යන්න ද මේ සූදානම?"

ගෝකුල් නාත් කටහඬ අවදි කලේ ය.

"ගුඩ් මෝනින් මිස්ටර් විවේක්.. ඇන්ඩ් ගෝකුල් නාත්. අපි යනවා කොයිම්බතූර් වල අපේ ඥාතියකුගෙ ගෙදර මඟුලකට. අපිට කොච්චර කරදර තිබුනත් යන්න උවමනා දේකට නොගිහින බෑනෙ ඉන්ස්පෙක්ටර්. අපිට එළියට යන්න අවසර දෙනවද?"

"කවුරු කවුරුද යන්නේ..?"

"මමත් මගේ බිරිඳත් ජෝතිත් යනවා.."

ඒ අතර ජෝති පට රෙද්දකින් මැසූ දිග සායක් හැඳ දොර අසලට දිව ආවාය.

"බාප්පා මම ලෑස්තියි..." ඇය හම හඬින් කෑ ගෑවාය.

"එහෙනම් යමු." තිදෙන පඩිපෙල බසින්නට විය.

"එක විනාඩියක්..." මිස්ටර් මදන් කියමින් විවේක් ඔවුන්ගේ ගමනට බාධා කලේ ය.
"ඔයාල ඒ උත්සවේට ගිහින් එන්නෙ කීයටද?"

"අපි එනකොට ටිකක් රෑ වෙයි ඉන්ස්පෙක්ටර්.."

"රෑ කීයටද?"

"අට විතර වෙයි"

"සමාවෙන්න මදන්. ඔයාලා හැන්දෑවෙ හය වෙනකොට බංගලාවට එන්න ඕනෙ. ඒ වෙලාවට එන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියනවනම් විතරක් යන්න."

"ඇයි එහෙම කියන්නේ මිස්ටර් විවේක්?"

"ඔයාලගෙ පවුලෙ හැමෝම අපේ පරික්ෂාව යටතේ ඉන්න ඕනෑ. ඔයාල මඟුල් ගෙදරක යන්න උවමනයි  කියල කියන නිසයි මම යන්න ඉඩ දෙනවා නමුත් හැන්දෑවෙ හය වෙනකොට ඔයාලා බංගලාවෙ ඉන්න ඕනෙ." විවේක් දැඩි ස්වරයෙන් කීවේ ය.

 මදන් තම බිරිඳ දෙස බැලී ය. "කෝකිලා අපිට හැන්දෑවෙ හයට කලින් එන්න පුළුවන් වෙයිද..?"

"එන්න පුළුවන් දවල් කෑම කාපු හැටියෙම එහෙන් පිටත් වුනොත්.."

"රෑ උත්සවේට ඉන්න කියාවි නමුත් අපි කියල එමු." මදන් පැවසී ය.

මදන් විවේක් දෙස හැරී, "හොඳයි විවේක් අපි හැන්දෑවෙ හය වෙනකොට එනවා." කියමින් පෝටිකෝවේ නවතා තිබූ ඇම්බැසඩර් වර්ගයේ කාරය වෙත ගමන් කලේ ය.

"බාප්පා.. මම ඔයාලගයි වාඩි වෙන්නේ.." කියමින් පිච්චමලක් බඳු සිඟිති ජෝති කාරයේ ඉදිරි අසුනට නැඟුනා ය. පසුපස  අසුනට නැඟුනු කෝකිලා කරෙයේ දොර වසා දැමුවාය. දොර අසල රැදී සිටි ජෙගදම්බාල් හට ගිහින් එන්නම් අම්මේ... කියමින් අතවනා ඔවුන පිටත්ව ගියෝ ය. කාරය ගේට්ටුව පසුකරන තුරුම එදෙස බලා සිටි විවේක් ජෙගදම්බාල් දෙසට හැරුනේ ය.

"කාගේ විවාහ මංගල්ලෙටද එයාල ගියේ.."

"කෝකිලාගේ ලොකු නැන්දගෙ දුවගෙ මඟුල් ගෙදරට"

"ඊයේ රෑ වෙනතුරු මේ ගමන ගැන මොකුත් කිව්වේ නැත්තෙ ඇයි?"

"මම යන්න එපා කියලයි කීවේ.. කෝ ඉතින් එයාලා ඇහුවෙ නෑනේ ඉන්ස්පෙක්ටර්.."

"හොඳ‍යි.. දොර වහල ගිහිං නිදාගන්න නෝනා.."

විවේක්ගේ ඉල්ලීම අනුව ජෙගදම්බාල් නිවස තුලට යාමට හැරුනා ය.

"එක විනාඩියක්!!" විවේක්ගේ හඬට ජෙගදම්බාල් නැවතී හැරී බැලී ය.

"පොඩ්ඩක් ලයිට් එළිය ගාවට එනවද නෝනා.."

"ඇයි ඒ??"

"කියන දේ අහල එන්නකෝ.."

නිදිමත ගතියෙන් සිටි ජෙගදාම්බාල් නොමනාපයෙන් මෙන් විදුලි එළිය අසලට පැමිනියා ය. විවේක් එකවරම ඇගේ හැට්ටය දෙසට ඇඟිල්ල දිගු කරමින් "මේ මොනවද නෝනා.." යි විමසී ය.

"මොනවද?" ජෙගදාම්බාල් ක්ෂණයකින් තම හැට්ටය දෙස බැලුවා ය. ඒ සීතල හිමිදිරියේ ඇගේ මුහුනට දහදිය බිඳු නැගෙන අයුරු විවේක් නිරීක්ෂණය කලේ ය.

"මේ...මේ...." ඇය පුදුමයෙන් විවේක් දෙස බැලුවාය.

"මේ ලේනේ.. කොහෙහරි වැදිල තුවාල වුනා ද??"

"නෑ"

"එහෙනම් කොහොමද මෙතන ලේ  ගෑවුනේ..?"

"මම දන්නෑ"

"ඔයා කොහෙද නිදා ගත්තේ.. එතැන අපිට පෙන්නන්න. මේ ලේ ඔයා කොහෙ හරි වැදීමෙන් ආපු ලේ නෙමෙයි. තුවාලයකුත්  නෑනෙ. වේදනාවකුත් නෑ නේද" ගෝකුල් නාත් දැඩි ස්වරයෙන් විමසී ය.

ජෙගදාම්බාල් හිස වනා තම හැට්ටය දෙස බලමින් පරීක්ෂකවරු දෙදෙනාද කැටුව බංගලාව තුලට ගියා ය. ඔවුන් මද එලියෙන් ආලෝකමත් කර තිබූ විසිත්ත කාමරය පසුකර තරප්පු පෙල නැග උඩුමහලට පැමිනියා ය. කාමරය තුල නිදන රුද්‍රා මහතාට නොදැනෙන ලෙස ප්‍රවේසමෙන් ජෙගදාම්බාල් ඇගේ නිදන ඇඳ අසලට පැමිනියා ය. සුදු ඇඳ ඇතිරිල්ලක් දමා තිබූ එය ඉතා පිරිසිදු ලෙසින් දිස්විනි.

"කොහොමද මේ ලේ ආවේ... විවේක් රුද්‍රා මහත්තයාගේ ඇඳත් පරීක්ෂා කරල බලන්න"

ගෝකුල් නාත්ගේ හඬින් විවේක් නිදා සිටි රුද්‍රා මහතාට නොදැනෙන සේ ඔහුගේ ඇඳ ද පරීක්ෂා කලේය.

"මොකුත් නෑනෙ ගෝකුල් නාත්"

විවේක් ජෙගදාම්බාල් දෙසට හැරෙමින්, 
"රෑ නැගිලට එළියට ගියාද නෝනා"

"නෑ මම ගියේ නෑ"

"එහෙනම් මේ ලේ බිංදු කොහෙන්ද ආවේ.." විවේක් දකුනතින් තම හිස කසමින් කල්පනා කලේ ය. එකවරම ඔහුගේ බැල්ම තියුණු විය. ක්ෂනයකින් කාමරයේ දොර අසලට ගමන් කල ඔහු පහත් වී පොළොවට සමීප විය.

"තවත් ලේ බිංදුවක්!"

විවේක් සෙමින් ඇඟිලි තුඩින් පරීක්ෂා කලේ ය. නලලේ රඳවන කුංකුම පොහොට්ටුවක් සේ එය දීප්තිමත්ව දිස්විනි. තව දුරටත් සූක්ෂම දෑසින් පරීක්ෂා කිරීමෙන් පසු බිත්තියේ වැටුනු එවැනිම ලේ බිංදු කීපයක් සොයා ගැනීමට ඔහු සමත් විය.

"මෙන්න තවත් ලේ බිංදුවක්" ඒ සොයා ගැනීම ගෝකුල් නාත් ගෙනි.

"ලේ බිංදු වැටිල තියන පැත්තට යමු"

ගෝකුල් නාත් හා විවේක් ඉවක් පසුපස යන පොලිස් සුනඛයන් දෙදෙනෙකු පරිද්දෙන් ලේ බිඳු වැටී තිබූ මං සලකුනු ඔස්සේ විසිත්ත කාමරය පසුකරමින් ගමන් කලේ ය. දිගටම සූක්ෂම දෑසින් යුතුව ගමන් කල මේ දෙදෙන එක් කාමරයක දොරක් අබියසට පැමිණියහ.

"මේ කාගේ කාමරයද?" තමන් පසුපසින් පැමිණි ජෙගදාම්බාල්ගෙන් විවේක් විමසුවේ ය.

"මේ මගෙ දූ ලක්ෂනාගෙ කාමරේ.."

ජෙගදාම්බාල් වහා ඉදිරියට පැන දොරට තට්ටු කරමින් දුව ලක්ෂනා යනුවෙන් කතා කලා ය. මඳ වේලාවකින් ඇඳකින් නැගෙන කිරි කිරි ශබ්දයත් කිසිවකු ඇඳෙන් බසින හඬත් විවේක්ට පැහැදිලිව ඇසුනි.

"කවුද......."

ටිකක් දොර අරින්න මිස් ලක්ෂනා..!

කාමරය තුලින් විදුලි ස්විචය ක්‍රියා කරවන හඬ ඇසිනි. ලක්ෂනා රාත්‍රී නිදන ඇඳුමින් සැරසී නිදිමතින් පියවුනු දෑස් දෑතින් පිස දමමින් කාමරයේ දොර අඟුල කරකවා දොර පියන විවෘත කලාය. ජෙගදාම්බාල් හා පරීක්ෂකවරුන් දෙදෙනා දුටු විගස "ඇයි අම්මා.... මොකක්ද ප්‍රශ්ණේ...." යැයි විමසීය.

ජෙගදාම්බාල් වේවලන දෑතින් තම දියණියගේ සිරුර අතගා පිරික්සා බැලුවා ය.

"ඔයාට මොකුත් කරදරයක් නෑ නේද දුව"

ලක්ෂනා කලබලයට පත් වූවා ය. විවේක් ජෙගදාම්බාල්ගේ හැට්ටය මත රැඳුනු ලේ බිංදුව ඇයට පෙන්වමින් කාරණය පැහැදිලි කර දුන්නේ ය. ලක්ෂනාගේ මුහුණ බියෙන් තැති ගැනුනේ ය.

"අජයගේ කාමරය තමයි කෙලවරේ තියෙන්නේ. ඒකෙත් බලමුද?"

"ඔව් බලමු"

සියලු දෙනාම අජයගේ කාමර දොර අසලට පැමිණියහ. දොර අසල වූ තවත් ලේ බිඳු කීපයක් විවේක්ගේ නෙතට අසුවිය.

"ගෝකුල්..?"

"ඇයි විවේක්!!"

"දොර ඇරල තියෙන්නෙ. මොකක් වුනත් මේ කාමරේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ.. ලයිට් ස්විච් එක කොහෙද තියෙන්නේ කියල බලන්න" යි කියමින් සීරුවෙන් දොර පියන විවෘත කලේය.

විවේක් දුන් විධානය අනුව ගෝකුල් නාත් බිත්තිය අතගාමින් ස්විචය සොයා එය ක්‍රියාත්මක කලේ ය. කාමරය පුරා ආලෝකය විහිදී ගියේ ය.

අජය නිදන ඇඳ මතය. ඔහුගේ නිරාවරණ උඩුකයේ පිට මැද්දෙන් පෙන දමමින් ගලා යන රුධිර ධාරව දොර දෙසට ගලා යමින් පැවතිණි. දෑස් විවරව තිබුනු ඔහුගේ මුහුන බිත්තිය දෙසට එල්ලවී තිබිණි.


"අජයට මොකුත් කරදරයක්ද ඉන්ස්පෙක්ටර්..?"

ජෙගදාම්බාල්ගේ හඬින් විවේක් ඒ දෙස හැරී බැලුවේ ය. ඇඳ මත මියගොස් සිටි අජය දුටු ජෙගදාමාබාල් විලාප නගමින් සිහි විසඥ වෙද්දී ගෝකුල් නාත් ඇය ඇඳ වැටීමට නොදී ආරක්ෂා කර ගත්තේ ය.

ලක්ෂනා විලාප නඟමින් මුහුන තම දෑත් වලින් වසා ගත්තාය.
                                                       

                                                                 *෴෴*



8 වන පරිච්ඡේදයෙන් හමුවෙමු. මේ පරිච්ඡේදය ප්‍රමාද වුනා ටිකක්. ඒකට සොරි හොඳේ..  : )

22 June 2012

මරණයට අයදුමක් - 6 වන පරිච්ඡේදය


රණය, ඔහු හඹා ආවේද? ඔහු, මරණය හඹා ගියේද කියන්නට කිසිවකු නොදනී. නමුත් එය එසේ විනි. තම මෙහෙයුම අතරතුරදීම පවිත්‍රන් අභිරහස් ලෙස බංගලාවේ ඝාතකයාගේ ගොදුරක් බවට පත්වී තිබිනි.

කිසිදිනක තමාට පැවරූ රාජකාරියක් අතරමඟ දී අත් නොහරින පවිත්‍රන් ශෙක්කල් මූඩි බංගලාවේ මෙහෙයුමේ දී මියගොස් ඇති බව මැඩ්රාස් පොලීසියට වාර්තා වන විට ගෝකුල්නාත් සිටියේ තම නිල කාමරයේ ය. එය ඔහුට අදහාගත නොහැකි විය. කාකි ඇඳුමින් වසාගෙන සිටි තම හදවත වේදනාවෙන් කීරිගැහෙන බව ඔහුට දැනිනි.

ඔහු දිගු හුස්මක් නාස්පඩු අතරින් පිටකරමින් සිත එක්තැන් කර ගැනීමට වෙර දැරීය. අනතුරුව තොප්පිය පැලඳ තම සගයා වන විවේක්ගේ නිල කාමරය වෙත පය එසවී ය.

                                                            
                                             ෴*෴


ගෝකුල්නාත් හා විවේක් ශෙක්කල් මූඩි වෙත පැමිණෙන විට උදෑසන දහය වී තිබිනි. සුඛෝපබෝගී රථයෙන් බට පරීක්ෂකවරු දෙදෙනා වෙත පැමිණි උප පරීක්ෂක ඔවුන්ව නිල අයුරින් පිළිගත්තේ ය.
ශෙක්කල් මූඩි අහස වළාකුලින් බරව වැස්සකට සූදානම් වෙමින් පැවතිනි. අසල නවතා තිබූ ජිප් රථයට නගින අතරතුර විවේක් පවිත්‍රන්ගේ මිනියෙ මරණ පරීක්ෂණය අවසන් කලාදැයි විමසී ය. විජය කුමාර් රථය පණගන්වමින්,

 "මරණ පරීක්ෂණේ ඉවරයි සර්. ඔබ තුමාලගෙ පරීක්ෂණයට මිනිය තියලා තියනවා සර්."

"මරණය කොහොමද වෙලා තියෙන්නේ පිහියකින් ද? තුවක්කුවකින් ද?"

"මුර කාරයාගේ මරණෙ වගේම එකක් සර්. පිහියකින් ඇනලයි මරල තියෙන්නේ"

"වත්තේ  බංගලාවේ කට්ටියගෙන් ප්‍රශ්ණ කලා ද?"

"ඔව් සර්"

"මොනවා හරි තොරතුරක් ලැබුන ද?"

"නෑ සර්. තවම මොකුත් තොරතුරක් නෑ."

"දිගටම සිද්දවෙන මේ මරණ ගැන බංගලාවේ කට්ටිය මොකද කියන්නේ"

"මේවා කොහොමද වෙන්නේ කියලා බංගලාවෙ කවුරුත් දන්නෑ සර්"

"අපි ඉස්පිරිතාලෙට යනවද නැත්නම් බංගලාවට යනවද" යි කියමින් පොලිස් පරීක්ෂකවරයා ජිප් රථයේ වේගය අඩු කලේ ය.
"ඉස්සරවෙලා ඉස්පිරිතාලෙට ගිහින් මිනිය බලලා බංගලාවට යමු" ගෝකුල්නාත් තම ශෝකාකූල සිතිවිලි බිඳ දමමින් කටමඬ අවදි කලේ ය.

"හොඳමයි සර්"

ජිප් රථය රොහල බලා ඉගිලිනි.

"රුද්‍රා මහත්තයට මේ වත්තේ හතුරො එහෙම ඉන්නවද?"

"දැනගන්න නම් නෑ සර්"

"හොඳට පරීක්ෂණ පවත්වන්න ඕනෙ ඉන්ස්පෙක්ටර්. ලොකු සල්ලි කාරයෙක්නේ.. වත්තේ, ගමේ හතුරෝ ඉන්න පුළුවන්."

"රුද්‍රා මහත්තයා බංගලාවෙන් එළවන්න කවුරු හරි මේක කලා වෙන්න බැරිද" කියමින් විවේක් අලුත් අදහසක් ඉදිරිපත් කලේ ය.

"රුද්‍රා මහත්තයට ලමයි කී දෙනෙක් ඉන්නවද?"

"තුන් දෙනයි සර්.."

"නම් මොනවද?"

"වැඩිමලා අජය. දෙවැනියා මදන්. දුව ලක්ෂනා."

"රුද්‍රා මහත්තයට ඇවිදින්න බෑලු නේද කොහොමද ඒක වෙලා තියෙන්නේ?"

"ඒ ගැනත් හොයල බැලුවා සර්."

"මොකද වෙලා තියෙන්නේ "විවේක් පොලිස් පරීක්ෂකවරයාට කතා කිරීමට ඉඩ නොදී නැවතත් ඇසුවේය.
"අවුරුදු දෙකකට කලින් පැරලයිස් හැදිලා ඇවිදින්න බැරිව ගියා කියලා කියනව සර්.."

"ඒ ගැන ඒ පවුලෙ දොස්තරගෙන් ඇහුවද?"

විජය කුමාර් ගෝකුල් නාත්ගේ පැනයෙන් තිගැස්සිනි.

"ඇහුවෙ නෑ සර්"

"හොයල බලනවා එයාට ඇත්තටම ඇවිදින්න බැරිද කියලා"

"ඔබතුමා එයා ගැන සැක කරනවද සර්.."

"මම සැකයට කිව්ව නෙමෙයි. ඒත් ඒ ගෙදර අය ගැන අපි හොඳට දැනගන්න ඕනෑ ඒකයි. වැඩිහමල් පුතාගේ නම මොකක්ද කිව්වේ?"

"අජය"

"අජයගේ බිරිඳ මාස ගානකට කලින් අසනීපයක් හැදිල මැරුණ කියලා  ආරංචියි. කොහොමද මැරිල තියෙන්නේ කියලා හොයල බැලුවද?"

"ආ.. ඔව් සර්. රෑ පුරාම දරුණු උනක් ගැනිලා තමයි මැරිල තියෙන්න‍ෙඅපේ ලොකු සරුත් ගියානෙ මල ගෙදරට."

"එයාගෙ නම මොකක්ද?"

"දන්නෑ සර්"

විවේක් ක්ෂණිකව තම කුඩා නොට් පොත දිගඇරියේ ය.

"අජයගේ බිරිඳ ලීලාවතී. වත්තේ වැඩකරන මරප්පන් කියල කෙනෙක්ගෙ දුවක්. පොල්ලච්චි වල ඉගෙන ගන්න කාලෙ තමයි දෙන්න හම්බවෙලා තියෙන්නේ. ටිකක් මුරණ්ඩු කෙනෙක්. විවාහ වෙන්න හදනව කියල බංගලාවෙ කට්ටිය දැනගත්තට පස්සෙ අකමැති වුනත් දෙන්න විවාහ වෙලා තියනව. අවුරුදු දහයක්ම එයා බංගලාවේ ඉඳල තියනවා."

"ලීලාවතීගේ මරණෙ ගැනත් සැකයිද සර්."

"ඔව් එක ටිකක් අසාමාන්‍ය මරණයක්"

"ලීලාවතී වැලලුවේ කොහෙද කියලා දන්නවද?"

"බංගලාව පිටිපස්සේ සර්"

"ඇයි ඒ?"

"ඒ පවුලෙ කෙනෙක් මැරුණාම වත්තෙම තමයි වලදාන්නේ සර්"

විවේක් තවත් කුමක්ද කියන්න කියන්න සූදානම් වනවිටම ජිප් රථය රෝහල් ගේට්ටුව පසුකර රෝහල් පෝටිකෝව යට නතර කෙරිනි.

"මේ කේස් එකේ හැම තැනම සැක කරන්න පුළුවන් තැන් තියනවා. හැම කෙනෙක්ම සැක සහිත කෙනෙක්. හැම පැත්තටම කොන් තියන බව පේනවා."

තිදෙනා කතා කරමින්ම රෝහල් මෘත ශරීරාගරය වෙත පැමිණියහ. මෘත ශරීරාගාරය අසලදී ඉන්ස්පෙක්ටර් වරයා ගෝකුල් නාත්ට හා විවේක්ට ආචාර කලේ ය. මෘත ශරීරාගාර භාරකරු විසින් දොර විවෘත කර දුන් පසු දෙදෙන ඒ තුළට ගියහ. එහි දිගැති ලී මේසයක් මත සුදු රෙද්දකින් ආවරණය කරන ලද පවිත්‍රන්ගේ මෘත ශරීරය දක්නට ලැබිනි. මරණ පරීක්ෂන කටයුතු කලා යැයි හැඟවීමට මෙන් මෘත ශරීරායේ හිස වටා බැන්ඩේජ් පටියක් බැඳ තිබිනි.


විවේක් හට පවිත්‍රන්ගේ මෘත ශරීරය දුටු විගස තිගැස්මක් උපන්නේය. ශෙක්කල් මූඩි වෙතට පැමිණීමට ප්‍රථම ඔහු කල කී දේ කෂනයකින් ඔහුගේ මතකයට නැගිනි.

"විවේක් බලන්නකො.. මේ ශෙක්කල් මූඩි කේස් එක ඉවර කරල මිනීමරුවව සතියක් ඇතුලත මම අරන් එනවා."
විවේක් පුදුමයට පත්විය. "පවිත්‍රන් බොහොම දක්ෂ පරීක්ෂකයෙක්. එයා කරපු වැඩක් කවදාවත් වැරදිලා නෑ. මිවිහට බොහොම තද හිතක් තිබුණෙ. මට පුදුමයි මේ සිද්ධීය ගැන."
"එළියෙ කාමරේ තමයි මිනීමැරුම වෙලා තියෙන්නේ සර්"
"මිනිය කවුද ඉස්සරවෙලාම දැකල තියෙන්නෙ?"

"වත්තේ මැනේජර් සර්"

"පවිත්‍රන්ගේ මරණෙ වෙන වෙලාවෙ බංගලාවෙ ඔක්කොම කට්ටිය ඉඳලා තියනවද?"

"ඔව් සර්"

"දොස්තර මරණ පරීක්ෂණ වාර්තාව දුන්න ද?"

"ඔව් සර්" කියමින් මෙතෙක් වෙලා ඉන්ස්පෙක්ටර් තම අතෙහි රෝල් කර තබා සිටි කඩදාසිය විවේක් වෙතට දිගු කලේ ය. වෛද්‍ය වාර්තාවට අනුව මරණය වකුගඩු හා හෘදය දරුණු කැපුම් වලට ලක්වීමෙන් වූ ලේ වහනය මත සිදුවූවක් බවට සටහන් කර තිබිණි.
"මේ මරණය වෙච්චි කාමරය බලන්න දැන් යමු" ගොකුල් නාත් දිගු සුසුමක් පිටකරමින් පැවසීය.
"ඔව් සර් දැන් යමු බංගලාවට"

සියල්ලොම ජිප් රථය වෙත ගොස් එහි නැගී ගමනාරම්භ කළේ ය.


                                             ෴*෴


විවේක් සහ ගෝකුල් නාත් බංගලාව වටා ගොස් එහි පිටුපස ප්‍රෙද්ශයට පැමිණියහ. ශෙක්කල් මූඩි පොලීසියේ උප පරීක්ෂකත් අජය හා වදනුත් වතු කලමනාකාර තංගරාජනුත් ඔව්න සමඟින් සිටියෝ ය. ලීලාවතීගේ සිහිවටනය අසලට සියල්ලෝම පැමිණියහ.
විවේක් තමන් අසලින් සිටි අජය දෙස හැරී,
"මේ ඔයාගෙ බිරිඳගෙ සිහිවටනය නේද?"

"ඔව් සර්"

"ඇයි මිනිය මෙතැන වල දැම්මේ?"

"ඒක අපේ පරම්පරාවෙ මුල් කාලෙ ඉඳන් කරනදෙයක් සර්"

"ඔයාගෙ බිරිඳ කොහොමද මැරුණෙ?"

"දරුණු උනකින් සර්.."

"ගොඩක් කල් ඇඳේ හිටියද?"

"නෑ එක දවසයි හිටියෙ. උදේ වෙද්දි මැරිලා"

"සිහිවටනයට බිරිඳගේ පිළිරුව යොදාගත්තෙ ඇයි?"

"එයාව මතක් වෙන්න සර්..."

"පවිත්‍රන් කාමරේ නතර වෙලා හිටිය කාලෙ මේ පිළිරුව ළග පහනක් පත්තුවුනු බවත් වළලු සද්දයක් මේ අසලින් ඇහුණු බවත් කියල තියනව. ඒ ගැන තමුන්ට මොනවද කියන්න තියෙන්නෙ?"

"මම ඒ ගැන දන්නෙ නෑ සර්." අජය ක්ෂණිකයෙන් පිළිතුරු දුනි.
"කොහොමද දන්නෙ නෑ කියන්නේ.. තමන්ගෙ ගෙදර වෙන දේවල් දන්නෙ නැද්ද තමුන්?" කියමින් විවේක් අජය වෙත තියුනු බැල්මක් හෙලුවේ ය.
"මම මේ දක්වා ඔය කිව්වා වගේ දෙයක් දැකල නෑ සර්.." පහත් ස්වරයකින් අජය පැවසී ය.
"ඔයාලගේ ගෙදර වෙක කවුරුහරි ඒ වගේ දෙයක් දැකල තියනවද?"

"නෑ.. මම හිතන්නෑ. එහෙම දෙයක් දැක්කනම් මට කියනව."

සිහිවටනය හා පිළිමට වටා ගිය පිරිස අනතුරුව බංගලාවට ඇතුල් වී විසිත්ත කාමරයට ගියේ ය. කාමරය තුල වූ සෝපාව මත කඳුළු සලමින් සිටි ලක්ෂනා හා කෝකිලා එසැනින් නැඟී සිටියහ. විවේක් තමා අසල සිටි ජෙගදාම්බාල් වෙත නැඹුරු වී සිහින් ස්වරයෙන් ඇය ඇමතී ය.

"ඔයාලගේ ගෙදර මේ සිද්ධවෙන මිනීමැරුම් වලට හේතුව මොකක්ද කියලද හිතන්නේ..."

ජෙගදාම්බල් තම දුක්මුසු හඬින්ම, "අපිව විනාස කරන්න හදන එවුන්ගෙ වැඩක් තමයි මහත්තයො.." යි කීවාය.

විවේක් මඳ සිනහවක් නඟමින්, "ඔයාලව විනාශ කරන්න හදනවනම් ඔයාලගෙ පවුලෙ අයවනෙ මරන්න ඕනේ.. නමුත් මේ වනතුරු මැරුණු අය පවුලට පිටින් හිටපු අය නේද?"

මදන් වහාම ඉදිරියට පැමිණ "ඉස්සරල මැරුණු සුපවයිසර්ලගෙ මරණ මිනීමැරුම් නෙමෙයිනෙ සර්. එක්කෙන්ක් කරන්ට් වැදිලා මැරුණා. අනිත් කෙනා කුරුදියාරු ඇලේ නාන්න ගිහිං මැරුණා."

"ඔයා එහෙමද හිතන්නේ..?"

"ඇයි ඔබතුමා ඒක විශ්වාස කරන්නේ නැද්ද?"

"විශ්වාස කරන්න පුළුවන්කමක් නෑ.." යි කියමින් විවේක් නැවත ජෙගදම්පාල් දෙසට හැරුනේ ය.

"අර ඇහුන කියපු වළලු සද්දේ තියන වළලු ඔයාලගේ ගෙදර කවුද පාවිච්චි කරන්නේ?"
ජෙගදම්බාල් මඳ නිහැඬියාවකි.

අනතුරුව තම දියණිය හා මිනිබිරිය දෙස බලා "කවුරුත් ඒ ජාතියෙ වළලු පාවිච්චි කරන්නෑ ඉන්ස්පෙක්ටර් හැබැයි මැරුණු ලීලාවතී ජීවත්ව ඉන්නකොට ඒ ජාතියෙ වළලු දාගෙනයි හිටියෙ"

විවේක්ගේ සූක්ෂම දෑස් එකවරම තියුනු විය.

"එහෙනම් රෑට අර පිළිමේ ගාව ඇහෙන වළලු සද්දෙ ලීලාවතීගෙ කියල හිතනවද?"

"ඔව් එහෙම වෙන්න පුළුවන්. එයා හුගක් ආසාවල් හිතේ තියාගෙන මැරුණු කෙනෙක්. එයාට එච්චර ඉක්මනට ස්වර්ගෙට යන්න පුළුවන් කමක් නෑ"

"ඔයා ඒ සද්දෙ අහල තියනවද?"

"මට එක පාරක් ඇහිලා තියනවා."

"ඒ කවදද?"

"දැනට මසෙකට විතර උඩදි රෑ වෙලාවක මගෙ මතකෙ හැටියට."

"ඔයා ඉතින් ඒ ගැන හොයලා බැලුවෙ නැද්ද?"

"නෑ.. මට බය හිතුණා."

"ඒ ගැන වෙන කාටවත් කිව්වෙත් නෑ..? විවේක් තියුනු ස්වරයෙන් ඇසුවේ ය."
"නෑ.."

"ඇයි ඒ?"

"ඒ ගැන කියල අනිත් අයව බයකරන්න හොඳනැති නිසා කිව්වෙ නෑ. මට ඊට පස්සෙ ඒ සද්දෙ ඇහුනෙ නෑ."

ඉන් අනතුරුව විවේක්ගේ දෑස් යොමුවූයේ ජෙගදාම්බාල්ගේ සාරිපොට සමඟ දැවටෙමින් සිටි සිඟිති දැරිය ජෝති වෙතයි. ඇගේ සියුමැලි කම්මුල් අතින් පිරිමදිමින් විවේක්,

"බබා ඔයාගේ නම මොකක්ද?"

"ජෝති"

"ඔයා කීවෙනි පන්තියෙද ඉගෙනගන්නේ..?"

"මම හතරෙ පන්තියෙ ඉන්නෙ.මේ අවුරුද්ද ඉවර වුනාම පහට යනවා.."

එකෙනෙහිම ඉදිරියට පැමිණි අජය, "සර් ජෝති හරිම බයයි. එයාගෙ අම්මා ගැන මොනවහරි ඇහුනොත් එයා අඬනවා. ඒ ඇඬිල්ල නවත්තන්න කාටවත් බෑ. එයා නිසා තමයි සිහියටන පිළිමයක් පවා හදන්න සිද්ධවුනේ.. එයාගෙන් මොකුත් මේ ගැන අහන්න එපා කරුණාකරලා..ප්ලීස් සර්"

විවේක් අජයගේ ඉල්ලීම කෙරෙහි අවදානය යොමු නොකරම, "බබා අම්මා ඔයාට ගොඩක් ආදරේයිද?"
ජෝති හිස සැලුවේ ය.

"අර එළියේ කාමරේ හිටපු මාමා මැරුනෙ කොහොමද කියලා ජොති බබා දන්නවද...?"

"මම...... මම දන්නෑනෙ.."

"එළියෙ කාමරේට ඒ මාමා හැර වෙන කවුරු හරි යනවා ඔයා දැකල තියනවද බබා...? "

ජෝතිගෙන් පිළිතුර ලබාගැනීමට පෙර නැවතත් අජයගේ බාධා කිරීම මතුවුනි.

"ජෝති බයවෙලා ඉන්නේ ඉන්ස්පෙක්ටර්, එයාගෙන් මේ මරණෙ ගැන අහන්න එපා ප්ලීස්..."

විවේක් මඳ සිනාවකින් මුව සරසා ගනිමින්, "ජෝති දිහා බැලුවාම එහෙම පෙන්නෑනෙ.. ලොකු අය හංගන සමහර දේවල් පොඩි අය කියනවා. ඒකයි ජෝතිගෙන් ඇහුවෙ.. "ඔයා කියන්න බබා එළියෙ කාමරේ ඉඳල කවුරුහරි එළියට එනවා ඔයා දැක්කද?"

"මම..... ම.. දැක්කෙ නෑ"

විවේක් මඳ සිනාවක් නඟා නැවතත් ජෝතිගේ කම්මුලට තට්ටුකර ගෝකුල් නාත් දෙසට ඇරෙමින්, "අපි රුද්‍රා මහත්තයටත් කතා කරමු නේද" යි ඇසී ය.

"ඔව්.." ගෝකුල් නාත් පිළිතුරු දිනි. සියලු දෙනා රුද්‍රා මහතා මුව ගැසීම පිණිස තරප්පු පෙළ නගින්නට වූහ.
                                
                                                ෴*෴


ගෙලවටා සලුවක් දවටා කල්පනාවේ නිමග්නව රොද පුටුව මත සිටි රුද්‍රා මහතා වෙතට නැඹුරු වූ ගෝකුල් නාත්,
 "ඔබට කරදර කරන්න සිද්ධවීම ගැන මුලින්ම සමාව ඉල්ලන්න කැමතියි."

"එන්න" රුද්‍රා මහතා ගැඹුරු හඬින් පැවසී ය.

"මේ බංගලාවේ සිද්ධවෙන මිනීමැරුම් වලට හේතුව මොකක්ද කියන්න මම දන්නෑ. ඔයාලා මැඩ්රාස් වල අපරාධ අංශෙ කට්ටිය බව මම දන්නවා. මේ මිනීමැරුම් වලට නැවතීමේ තිත තියන්න ඕනෙ දැන්වත් ඉන්ස්පෙක්ටර්.."

"ඒකට ඔබේ උපකාරය ඕනෑ සර්.."

"කියන්න මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ.."

"මමත්  විවේකුත් මේ බංගලාවේ ටික දවසකට නතර වෙලා මේ මරණ ගැන පරීක්ෂණ කරන්නයි හිතාගෙන ඉන්නෙ." ගෝකුල් නාත් ස්ථිර හඬින් පැවසී ය.

ගෝකුල් නාත්ගේ ඉල්ලීමට ක්ෂනයකින් රුද්‍රා මහතාගේ මුහුනේ ඉරියව් වෙනස් කිරීමට සමත් විය.

"මේ බංගලාවේ නතර වෙන්නද අදහස"

"ඔව්"

"එළියේ කාමරේ?"

"ඔව්"

"හොඳට කල්පනා කලා ද?"

"හම්ම්... ඔව්"

"මීට කලින් එතැන හිටපු  අයට මොකද වුනේ කියලා දන්නවනේ ඉන්ස්පෙක්ටර්.."

විවේක් තම හඬ අවදි කලේ ය.

"මේ කාකි නිල ඇඳුම විතරක් නෙමෙයි අපේ ජීවිතවත් අපිට අයිති නෑ කියලා මම හිතනවා. මිස්ටර් රුද්‍රා මේ විවේක් ගැන දන්නෑ. මේ කේස් එක අවසාන කරන කොට එයා කවුද කියලා ඔබට තේරේවි."

"හොඳයි ඔයාලට උවමනා විදිහට මේ බංගලාවෙ ඉන්න පුළුවන්. ඔයාලට කැමති කාමරයක නතර වෙන්න පුළුවන්. උවමනා උදව්වක් කරන්න මම සූදානම්. මගේ පවුලෙ අයත් ඔයාලට උදව් කරාවි."
රුද්‍රා මහතා කීවේ ය.

විවේක් සැහැල්ලු ස්වරයෙන්, "ඔබගේ පුතා අජයගේ බිරිඳ ලීලාවතී ජීවත්ව ඉන්න කාලෙ වළලු වගයක් "පැළදගෙන හිටිය කියලා කියනවා. ඒක ඇත්තද?"

"ඔව්"

"ඒ වළලු දැන් මට බලන්න පුළුවන්ද?"

"මොකටද ඉන්ස්පෙක්ටර්??"

"කරුණාකරලා හේතුව අහන්න එපා. එවා කාටහරි අරගෙන එන්න කියල කියන්න."

"රුද්‍රා මහතා ජෙගදාම්බාල් දෙසට හැරී, අර ලීලාවතීගේ වළලු කබඩ් එකේ නේද තියෙන්නෙ.."
"ඔව්"

"එක්කගෙන ගිහින් ඒවා මේ මහත්තුරුන්ට පෙන්නන්න."

"හොඳමයි. එන්න ඉන්ස්පෙක්ටර්.."

ජෙගදාම්බාල්, ගෝකුල් නාත් හා විවේක් විජය කුමාර්ද සමඟ උඩුමහලේ  ඇතුල් කාමරයක් වෙතට කැඳවාගෙන ගියා ය. කාමරය තුල වූ ලී අල්මාරියක් අසලට පැමිණ තම ඉනත් සාරියත් අතර රඳවා තිබූ  රිදී පැහැති යතුරු කැරුල්ල අතට ගත් ජෙගදාම්බාල් එයින් එක් යතුරක් තෝරා අල්මාරිය විවෘත කලා ය.

ඇය අල්මාරියේ දෙවන තට්ටුවේ වූ කුඩා ඇසුරුමක් තුළට අත යැවුවා ය. ක්ෂණයකින් ඇගේ මුහුන වෙනස් විනි.

"ඉන්ස්පෙක්ටර්...!"

"ඇයි නෝනා...?"

"වළලු මෙතන තමයි තිබුනේ.. දැන් නෑනේ..!!"


                                                           *෴ ෴*



7 වන පරිච්ඡේදයෙන් හමුවෙමු...

18 June 2012

මරණයට අයදුමක් - 5 වන පරිච්ඡේදය

ඩු මහලේ කෑම මේසය වටා සියලු දෙන රැස් වී සිටියහ. රුද්‍රා මහතා රොද පුටුවේ සිටම කෑම මේසයට සහභාගී වෙමින් මිණිබිරිය  ජෝති සමඟින් යමක් මුමුණමින් සිටියේ ය. ජෙගදාම්බල් පොතක් කියවමින් සිටි අතර ලක්ෂනා තම සැමියා සමඟ කතාවේ යෙදෙමින් හඬ නගා සිනාසුනා ය. කෝකිලා දිවා කාලයේ බලා ඉවත දමන ලද පුවත්පත පෙරලමින් සිටියා ය. තංගරාජන් පමණක් පවිත්‍රන් පැමිණෙන තෙක් මඟ බලමින් සිටියේ ය.

අජය තංගරාජන් දෙස බලමින්,
 "අර අලුත් හාදයා නාගෙන එන්න මෙච්චර වෙලා ගන්නවද? මම දවල්ටත් හරියට කෑවෙ නෑ. ගිහින් මිනිහට ඉක්මනට එන්න කියනව"
තංගරාජන් තම අත් ඔරලෝස්ව දෙස බැලීය. එහි වෙලාව රාත්‍රී හතයි දහය සටහන් වී තිබිණි. පවිත්‍රන් නාගෙන එන්න මෙච්චර වෙලා ගන්නවදැයි සිතමින් පුටුව පසකට කරමින් කෝප වූ මුහුනින් යුතුව පවිත්‍රන් සොයා ඔහුගේ කාමරය දෙසට ගියේ ය. ඔහුගේ පා ගැටෙන හඬ ලී පොළොවෙ දඩ.. දඩස්.. යන හඬින් ඇසුනේ ය.
"වැඩට ආපු අලුතම මෙහෙමද? ඔක්කොම අරහෙ බලාගෙන ඉන්නවා. කිසිම වගකීමක් නැති මිනිහෙක් වගෙයි." තංගරාජන් තම සිතිවිලි සිතේ තදකර ගනිමින්ම තදින් පවිත්‍රන්ගේ කාමරයෙ දෙරට තට්ටු කලේය.
කිසිදු පිළිතුරක් නැත.
"පවිත්‍රන්...! පවිත්‍රන්..!" ඔහු හඬනගා පවිත්‍රන් ඇමතී ය.
කාමරය තුලින් කිසිදු හඩක් නොනැගිනි.
"මේ මිනිහා ඇතුලට වෙලා නිදිවද්ද?" යි සිතමින්  තංගරාජන් කාමරයේ දොර තල්ලු කලේ ය. කාමරය තුල තද අඳුරක් පැතිරී තිබිනි. අඳුරේම අතපත ගා බිත්තියේ වූ ස්විචය ක්‍රියාත්මක කලේ ය.
ටියුබ් බල්බය ගැස්සි ගැස්සී දැල්විනි. කාමරය තුල වූ දර්ශනය දුටු තංගරාජන්ගේ දෑස ඉහළට එසවිනි. දහදියෙන් ඔහුගේ ගත තෙත් විනි.

කාමරය තුල දෑත් දෙපා විහිදා පවිත්‍රන් වැටී සිටියේ ය. හිස දකුණු පසට ඇලව තිබූ අතර දෑස් විවර වී තිබිනි. සිරැර පුරා රුධිරය ගලා යමින් තිබිනි. තංගරාජන් පහත් වී පවිත්‍රන්ගේ සිරුරට අත තැබී ය.
කිසිදු චලනයක් නැත.

පපුව මැදට පතිතව තිබූ දරුණු පිහි පහරින් පෙණ දමමින් රුධිරය උතුරා යමින් පැවතිනි.


                                                      
                                              
                                                 *෴ ෴*

 
6 වන පරිච්ඡේදයෙන් ආයෙම හමුවෙමු යාළුවනේ..
.