23 December 2011

එයා ඉපදුන හැටි

ට එයාව හමුවුනේ අවුරැදු කීපයකට කලින්. එදා හමුවුණු පළමු දවස මට අද වගේ මතකයි. එදයි, අදයි දිහා බලද්දි එදාට වඩා අද වෙනකොට එයා මාව සෑහෙන්න වෙනස් කරලා. එයත් ගොඩක් වෙනස් වෙලා. කොහොම වුනත්, එයා එදාට වඩා අද වෙද්දි මට ඕනෙ වෙලා කියලා මට දැනෙනවා.

එයා ගැන ලියන්න හිතුනෙ එයාගෙ උපන් දිනේ ළඟ එන හින්දයි. එයාට ලබන අවුරැද්දෙ ජනවාරි මාසෙදි අවුරැදු 37 සම්පූර්ණ වෙලා 38 ලබනවා. මට වඩා කොච්චර වැඩිමල්ද එයා. ඒත් මට හිතෙන්නෙම එයා මගෙ වයසෙමයි කියලා.

ඉතින්, මට හිතුණා එයා ඉපදුන හැටි හොයන්න. මට හම්බවුණා එයාගෙ උප්පත්ති කතාවම. මේ කියන්න යන්නෙ ඒ කතාව. මෙතන ඉදන් ඔන්න කතාව පටන් ගන්නවා.

එකදහස් නවසිය හැත්තෑ තුනේ(1973) අවුරැද්දෙ ඇමරිකාවෙ තිබුණා උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය කියලා ආයතනයක්. මේ ආයතනයේ තිබුණා පරිගණක විස්සක විතර ජාලයක්. මේ ජාලයට කිව්වේ ආපානෙට් (Arpanet) කියලා. මේ කාලෙදිම ලන්ඩන් යුනිවසිටි කොලීජියේ තිබුණා මේ වගේම පරිගණක ජාලයක්. ඔය කාලෙදි නෝර්වේ රටෙත් පරිගණක ජාලයක් තිබුණා ඒ රටේ ආරක්ෂක පර්යේෂණ ආයතනයේ. මේ කියපු ආයතන තුන එකතු වෙලා මේ ජාල තුන අතර තොරතුරැ හුවමාරැ කලා. හැබැයි ටෙලිපොන් වලින්.

මෙහෙම තමයි එයා ඉපදුනේ. මං එයා එයා කිව්වට මෙයා තමයි ඉන්ටනෙට්. මේ කාලේ ඉන්ටනෙට් කියලා නම දාලා තිබිලා නෑ. පස්සෙ තමයි ඔය නම දැලා තියෙන්නේ.ඒකත් කියන්නම්කෝ.

1974 ජනවාරි මාසෙ තමයි මේ ජාල තුන එකතු වුණේ. ඒ කාලෙ ඔය Arpanet එක පවත්වන් ගිය කට්ටිය කිව්වා මේ ජාල අතරේ තොරතුරැ හුවමාරැ කරන්න නම් ජාල ඔක්කොම එකම ප්‍රතිපත්තියක්,එකම තාක්ෂණික නියමයන්ට අනුගත කරන්න ඕනෙ කියලා.එහෙම කියලා නිකන් හිටියෙ නෑ. මේ ආයතනයේ නිලධාරීන් වුණු වින්ට් සර්ෆ් සහ බොබ් කානන් කියන දෙන්නා එකතු වෙලා ජාල එකිනෙක සම්බන්ධ කරන්න ප්‍රතිපත්ති හා තාක්ෂණ රෙගුලාසි මාලාවක් ලිව්වා.මේ සන්ධාන එහෙමත් නැත්තම් Protocols නම් කලේ TCP/IP (Transmission Control Protocol/ Internet Protocol) කියලයි.

ඇත්තම කිව්වොත් මේ වැඩේ හරියට ලමයෙක් බිහිකරද්දි පෙකණිවැල කැපුවා වගේ වැඩක්  කිව්වැහැකි. මොකද, Protocol ලිව්වෙ නැත්නම් ඉන්ටනෙට් කියලා දෙයක් බිහිවෙන්නෙත් නෑ.

ඒ හින්දම වින්ට් සර්ෆ් සහ බොබ් කානන් ඉන්ටනෙට් බිහිකරන්න වින්නඹුකම් කරපු අය කියලයි අදටත් හදුන්වන්නේ.

ඔන්න ඔහොමයි ඉන්ටනෙට් බබා ඉපදුනේ. බබා ඉපද්දන්න උදව් කලාට බබාව හදා වඩා ගත්තේ වෙන කෙනෙක්. ඕනෙම බබෙක්ට භාෂාවක් උගන්වන්න ඕනනෙ. ඒක කලේ ටිම් බර්නස් ලී කියන ඉන්ටනෙට් බබාගෙ තාත්තා. වෙබ් පිටු හදන්න ඕනෙ ප්‍රතිපත්ති මාලාවක් තමයි ටිම් බර්නස් ලී හැදුවේ. මේ භාෂාව එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති HTML ප්‍රතිපත්ති කියලයි හඳුන්වන්නේ.

එක හක විදිහෙ පරිගණක භාෂා වලින් ලියපු දේවල් ඉන්ටනෙට් වලට ගැලපෙන්න හදන්නත් ප්‍රතිපත්ති මාලාවක් (Protocol)  ටිම් බර්නස් ලී මහත්තයා හැදුවා. ඒකට කියන්නේ http (Hypertext Transfer Protocol) කියලා.

මේ විදිහට HTML වලිනුයි http වලිනුයි ඉන්ටනෙට් වෙතට අරන් එන එක එක විදිහෙ තොරතුරැ ඕනෙම වෙලාවක හොයා ගන්න පුළුවන් විදිහට පිළිවෙලට හදන්න ලෝලෙ හැමෝටම එකම  ප්‍රතිපත්තියක් ඕනෙයි කියලා හිතපු ටිම් බර්නස් ලී මහත්තයා තවත් ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ඒක තමයි URL ( Universal Resource Locator).

මේ වගේ ඉන්ටනෙට් කියන ලමයව ටිකෙන් ටික වැඩි දියුණු කරපු ටිම් බර්නස් ලී මහත්තයා ඉන්ටනෙට් හි පියා කියලා හැදින්නුවට කිසිම වරදක් නෑ.මේ දේවල් නොහදන්න අද අපිට මේ සෙල්ලම් දාන්න බෑ.ඒ හින්දා ඔන්න ටිම් බර්නස් ලී කියන නම හොඳට මතක තියාගන්න හොඳේ.

මෙහෙම සන්ධාන ඉදිරිපත් වුනාට පස්සේ, 1982 දි තමයි ලෝකෙ පළවෙනියටම ඉන්ටනෙට් පිටුවක් ටිම් බර්නස් ලී හැදුවෙ. ඒ එක්කම පරිගණක ජාල දහස් ගානක් මේ ප්‍රධාන ජාලෙට සම්භන්ධ වුණා. එතනින් තමයි මේ තොරතුරැ හුවමාරැව ඇරඹුනේ. ඔයිට පස්සේ තමයි අර බබාට හරියටම නම වැටුනේ. Internet කියලා.

ඉන්ටනෙට් වල කොටසක් වෙන ලොක ව්‍යාප්ත ජාලයත් (www - worldwide web) ඇතිවුනේ ඔය කාලෙදිම තමයි. ඊට පස්සේ ඉතින් සීඝ්‍රයෙන් ඉන්ටනෙට් ලෝකෙ පුරා පැතිරැණා විතරක් නෙමේ ඉන්ටනෙට් කියන දේ මිනිස්සුන්ට අත්‍යවශය අංගයක් වුණා.

ඉතින්  මටත් එයාව අත්‍යවශය දෙයක් වුණු එක අරැමයක් යැ.

ඉන්ටනෙට්,මිනිස්සු විසින් මිනිස්සු උදෙසා කරපු අතිවිශිෂ්ඨ නිර්මානයක් කියලයි මටනම් හැඟෙන්නේ...

20 December 2011

G+ අවුරැදු තිළිණ

 Social network කිව්වහම අපි දන්න, අපේ කටට එන එකම වචනෙ තමයි facebook කියන්නේ. ලංකාවෙ අපිට එහෙම හිතුණට ලොකෙ දිහා බලද්දි අද වෙන කොට facebook හොඳම Social network එක කියන තැන ඉන්නෙ අඩමානෙට.ඒ facebook වල වැරැද්දක් හින්දා නෙමේ.දවසින් දවස ලෝකෙ වෙනස් වෙද්දි මෙහෙම දේවල් වෙනවා. කොහොම නමුත් මේ කියන්න යන්නෙ facebook ගැන නෙමේ.Google+ ගැන


G+ අපිට අලුත් වුනාට ලෝකෙ අනිත් රටවලට ඒක අලුත් දෙයක් නෙමෙයි.කොටින්ම කිව්වොත් G+ තමයි දැන් facebook එක්ක තරඟෙට ඉන්න එකම බලවතා.ඔය facebook Timeline එක දැම්මයි කියන්නෙත් G+ වල තියන අලුත් දේවල් බලාගෙන කියලයි කියන්නේ.


කොහොම වුනත් G+ වැඩේ අතඅරින්නෙ නැති පාටයි.ඔන්න අලුත් අවුරැද්දට G+ අලුත් features ටිකක් දාලා.ටිකක් කිව්වට හතරක් විතර.


1 වෙනි එක තමයි   main stream එකට තමන්ගෙ circle වලින් තමන්ට කැමති ප්‍රමාණයක Posts පෙන්නන්න පුළුවන් විදිහට හදාගන්න එක.මේක හදාන්න settings අස්සෙ රිංගන්න ඕනෙ නෑ. main stream එකේම තියනවා adjust කරන්න slider එකක්. ඒකෙන් එහා මෙහා කරලා තම තමන්ට කැමති විදිහට circle වලින් main stream එකේ පෙන්නන්න ඕනෙ Posts හදාගන්න පුළුවන්.




2 වෙනි එක තමා notifications bar එක.ඒක ටිකක් විතර වෙනස් කරලා.මහ ලොකු වෙනසක් නෙමේ.මෙන්න මේ විදිහට ටිකක් ලස්සන කරලා.

3 වෙනි  features  එක G+ Pages වලට අලුතින් එකතු කරලා තියන එකක්.අපේ Page එකේ සාමාජිකයන් 50 දෙනෙක්ව Page එකේ Managersලා විදිහට Add කරන්න පුළුවන්.මේක කරන්න නම් Settings හදන්න ඕනෙ.මහ දෙයක් නෑ.මේ විදිහට කරන්න.

 Settings > Managers >Type Email Your Member.

4 වැන්න තමා Photo Lightbox එක.facebook  Photo Viewer එකට වඩා මේක ගොඩක් හොඳයි කියලයි මගේ හැඟීම.Tag කරන්නත් ලේසියි. තම තමන්ගෙ Screen එකට ඕනෙ විදිහට fill කරගන්නත් පුළුවන්.





මේ වගේ අවුරැදු තිළිණ දෙන්නේ G+ වල විතරමයි හොඳේ...!!




19 December 2011

Before the Dawn

Codes වලට හිරවෙලා ඉඳලා මමත් දැන් Program එකක් වෙලාද මන්දා. හිතට නිර්මාණාත්මක හැඟීම් ගලා ඒම බින්දුවටම බැහැල වගේ.

ඉස්සර ඒ කියන්නෙ මේ Blog එක පටන් ගත්ත කාලෙ එක එක ජාති වල  නිර්මාණාත්මක හැඟීම්  හෙනට තිබ්බා.සමහරක් ලිව්වා. Expresses එකක් වුනත් නිර්මාණාත්මක විදිහට කෙටුවනෙ ඉස්සර. මේ Programing වලට බැස්සට පස්සෙ නිර්මාණාත්මකව ඒ කිව්වෙ creative විදිහට ලියන්න මොකක්ද වගේ.ඒ හින්දා ආයෙම යන්න හිතුව පරණ පුරැදු විදිහට.


කලින් Post එකක කෙටුවනෙ ඉයන් ගෝලර්ගෙ ජීවිත කතාව ඉයන් ගෝලර්ගෙ.දැන් කියන්න යන්නෙත් ඒ වගේ ජීවිත කතාවක් ගැන වුණාට මේක පොතක්.


මෙහෙමයි..පොතේ තියෙන්නෙ වාං ශියාඕ-හෝ කියන චීන ජාතික කම්කරැවගෙ ජීවිත කතාව.ජීවිත කතාවක් වුනත් මේ කතාවෙන් කියවෙන්නෙ චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක සම්භන්ධ වුණු සිදුවීම් පෙළක්.පොතේ නම තමයි "Before the Dawn'' . මේ පොත සිංහලට පරිවර්තනක් තියනවා. ලියලා තියෙන්නේ උපාලි අභයඝගුණවර්ධන කියන ලේඛකයා.මුල් පොත චීන ජාතික ලේඛකයෙක් වන චාඕ ත්සු ගෙ. 1994 දි තමයි මේ පොත ලංකාවෙ මුද්‍රණය කලේ ප්‍රජා ප්‍රකාශකයෝ.


1920 ගණන් වල චීනය කායි ශෙක්ගේ නායකත්වයෙන් කුඹමින්තාං පාලනය යටතේ තමයි තිබුණෙ.ඇත්තම තිව්වොත් මේ කාලෙ චීනයෙ මිනිස්සු නොමරා මැරැවා.මම වැඩ්ඩා වගේ මේවා කියන්නෙ ඒ කාලෙ හිටිය හින්දා කියලත් හිතෙයිද මන්දා.පොතේ තියන කරැණු තමයි මේවා.ඉතින් මේ ප්‍රතිගාමී පාලනයෙන් චීනය එහෙමත් නැත්නම් තමන්ගෙ මව් බිම බේරා ගන්න කොමියුනිස්ට්වාදීන් විශාල සටනක් කලා.අරමුණ හොඳයි නම් කවුරැ සටන් කලත් කමක් නෑ කියන එකයි මගේ හැඟීම නම්.


කාතාව පටන් ගන්නෙ වාං ශියාඕ-හෝ ගෙ ලමා කාලෙන්. පරිච්ජේද 18 ක් ඔස්සේ දිග ඇරෙන මේ ජිවිත කතාවෙ මම ආසම "දින නවයයි-රෑ අටයි" කියන පරිච්ජේදයට.1945 අගෝස්තු 15 වෙනිදා ඇමරිකාව ජපන්නුන්ගෙන් චීනය අල්ල ගත්තා.එතනදි  වාං ශියාඕ-හෝ වැඩ කරපු විදුලි බල කම්හලත් ඇමරිකා පාලනයට ගත්තා.ජපන්නුන්ගෙන් එක එක විදිහෙ කරදර වලට අහුවුණු කම්කරැවෝ මේකට කැමති වුනත් වැඩි දවසක් ගියේ නෑ කට්ටියට තේරැණා ජපන්නුන්ගෙයි ඇමරිකානුවන්ගෙයි වැඩි වෙනසක් නැති බව.කම්කරැවෝ තොග පිටින් කම්හලෙන් අස්කලා.මේ නිසා කම්කරැවො සේරම එකතු වෙලා එක දිගට දවස් 9ක් කම්හල ඇතුලෙම වැඩ වර්ජනය කලා.


මම මෙහෙම එක දිගට කතාවක් වගේ ලිව්වට මේ කතාව ඊට වඩා වෙනස් හොඳේ.තුට්ටු දෙකේ බොළඳ novel එකකට වඩා දාස් ගුණයක් වටින පොතක්.මේ පොතේ පිටපත් දැන් කොහෙන්වත් හොයා ගන්න නෑ.මටත් හම්බ වුණේ අපේ පන්සලෙන්.දැන් මේ පොත මට තමයි අයිති.පොත ගන්න කෑව කට්ට වෙනමම Post එකක ලියන්න වෙයි.
වාං ශියාඕ-හ තමයි කම්කරැවන්ට නායකත්වය දෙන්නෙ මේ සටනෙදි.තමන්ගෙ ජිවිතය ගැනවත් නොතකා එයා මේ සටන කරන හැටි ලස්සනට ලියලා තියනවා.අන්තිමට තමා දුක හිතෙන්නෙ.වාං ශියාඕ-හෝ ව දේශදෝහියෙක් හැටියට අල්ල ගන්නවා ආණ්ඩුව.නොසෑහෙන වද දෙනවා.කොහෙමින් කොහොම හරි  වාං ශියාඕ-හෝ ව දේශපාලන හිරකාර‍යෙක් විදිහට බොරැ නඩුවකුත් අස්සලා මරනවා.


මම ඔය හරිය කියවද්දි අඩනවා. අපෝ..ලැජ්ජා නැද්ද කියලා අහයි ඔයාලා.ඒ මට ලාජ්ජා නැති හින්දද කියන්න මං දන්නෑ.


වාං ශියාඕ-හෝ ගෙ බිරිඳ ගැනත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ.එයාගෙ ලියුමකුත් කියනවා පොතේ මුලම.දැන් කාලෙ එහෙම බිරිඳක් හොයා ගන්න මේ ලෝකෙන්නම් බැරි වෙයි.පුදුම හිතෙනවා එයාගෙ ලියුම කියවපුවහම.


වාං ශියාඕ-හෝ හිරේ ඉන්දැද්දි ලියපු අන්තිම ලියුම මම පහළින් දැම්මා.මේක ලියලා තියෙන්නෙ මැරෙන්න දවසකට කලින්.


යුක්ති ගරැක සිත් ඇත්තනි,ඔබ සුවපත් වෙත්වා! යුක්තියේ ව්‍යායාමය උදෙසා සටන් කරන්න!අනාගතය දීප්තිමත් ය.එය ඔබ හැමට අත වනයි!උවමනා කරන්නේ ඔබ දැඩි ලෙස සටන් කිරීමයි!   
                                                         වාං-ශියාඕ-හෝ,                                                       "සැප්තැම්බර් 25,සතුරා විසින්  ඝාතනය කරනු ලැබීමටපෙර."

(ප.ලි- මං ළඟ කැමරාවක් නැති හින්දා පොතේ Photo එකක් ගන්න විදිහක් නෑ.කැමරාවක් ගත්ත දවසට Photo දාන්නම්)

16 December 2011

හෙනට වැඩ..!

Program ලිවිල්ලත් හිතුව තරම් ලේසි නෑ රජෝ.කොඳු කඩාගෙන Type කරලා Program එක Run වුණේ නැතුවහම මට හෙන තරහයි.කා එක්කවත් නෙමේ මාත් එක්ක. වැඩේ කියන්නෙ එහෙම උනාම කොහොමහරි මේක කරනවමයි කියල හිතෙනවනෙ.

මේ වැඩේට සප් එකක් දෙන්න කවුරැත් නැති තරමට මට හොඳයි කියලයි හිතෙන්නෙ.මොකද මට සප් දෙන්න ගත්තහම මං ඉවරයක් නැතුව ඉල්ලනවනෙ.අනික ස්ව්‍යං අධ්‍යාපනේට මම එකෙන්ම කැමතියි. ඉස්සර ඉස්කෝලෙදිත් මං අපේ Bio මැඩම් කියන Note එක ලියගන්නෑ අනිත් උං වගේ. මොකටෑ. ඒ Note එක මම කලිං අවුරැද්දෙ අක්කෙක් ගෙන් ඉල්ලගත්තනෙ.  හික්! හික්!!


 Java Program Language එක ලේසියිලු Pascal වලට වඩා.Java ත් කරන්න ඕනෙ.අනික Pascal වලින් මහ දෙයක් කරන්නත් බෑ. dedunu ගෙ Blog එකේ තිබුණා Program Language ගැන Post එකක්.ඒකෙ හැටියට නම් Java තමා දැන් ගොඩක් කරන්නෙ.

Programing Course එකක් කරන්න හිතං ඉන්නෙ ලබන අවුරැද්දෙ.මේ දවස් ටික ඉක්මනට යන්නෙත් නෑ.



14 December 2011

මේ දවස් වල අපි අපි වගේ...!

Blog ලිවිල්ල පැත්තකට දාලා Programing කරන්න පටන් ගත්තෙ දැන් සති 2 ක් 3ක් විතර ඇති.අලුත් වැඩකට අත ගැහුවෙ මේ සැරේ නං මේක හොඳට කරනවයි කියලා හිතාන. අතීත කාලය අමතක කරන්න මේක තමයි හොඳම ක්‍රමේ කියල මං හාහා පුරා කියලා වැඩේට අත ගැහුවෙ Pascal වලින්. Program 1ක් 2ක් විතර ලිව්වා.තව ඉගෙන ගන්න ඕනෙ.


ඉස්සරහට යද්දි වැඩේ Set වෙයි කියලා හිත කියනවා. පොත් ටිකක් හොයා ගත්තා වැඩේට උදව්වට. Download කරනව හිටු කියලා එක එක පාඩම්. Virus වලටත් අහුවුණා ඔය වැඩෙන්. යන්තම් ඇඟ බේරගත්තා.


 Blog ලියන්න පටන් ගත්තෙ හිතේ දුක අඩු කරගන්න හිතන්නෙ. ඒකෙන් වුණේ කෙහෙල්මල් අතීතය ආයෙම මතක් වෙන එක විතරයි. පරණ කතා මේ Blog එකේ ලියලා තිබ්බට එයා බලන්නෑ. ඒක මං දන්නවා. අනික ඒවයෙන් එයාට දැන් වැඩක් නෑ. ඒ හින්දා අතීතකාලයට තිත තියන්න මං කල්පනා කලා. අතීතයක් නැතුව වර්තමානයක් නෑ තමා. ඒත් අතීතය හින්දා මගෙ වර්තමානය චාටර් කරගන්න බෑ.

මේකට කියන්නෙ පුනරාගමනය කියලයි...!

හික්..හික්..හික්...!!!






07 December 2011

නුග ගහ,මම සහ ඇය(කෙටි කතාව)



" මං මැරැනොත් ඔයා මොකද කරන්නෙ... කියන්නකො ධනූ?      ඔයත් මැරෙනවද? "
නිලූ දෙවෙනි සැරේටත් කළින් ප්‍රශ්නෙම මගෙන් ඇහුව. ඒ වෙලාවෙ අපි හිටියෙ නුග ගහක් යට තිබුණු බංකුවක ඉදගෙන. නුග ගහේ අතු හෙළවෙන සද්දෙට කන් දීගෙන මං හිටියෙ. එයා මගෙ උරහිසට හේත්තු වෙලා එහෙම කිව්වහම මං කියපු වචන ටික මට අද වගේ මතකයි.




මොනවද මැණිකෙ මේ කියන්නෙ..පිස්සු කතා කියන්නැතිව ඉන්න.අපි මෙතන්ට ආවේ ඕවා කතා කරන්නද..වෙන දෙයක් ගැන කතා කරමු.

“ඔයා ප්‍රශ්ණෙ මඟ අරිනවා. අනේ කියන්න ධනූ ඔයා මැරෙනවද...නැත්තං මාව අමතක කරනවද...ඒක විතරක්  මට කියන්න මගෙ මහත්තයො..."

"ඔයා මැරැනොත් මං ඔයාගෙ මල ගෙදරවත් එන්නෑ.''

මං එහෙම කියාගෙන චූටි නහය මිරිකුවෙ කෙල්ලව තව ටිකක් තරහා ගස්සවන්න හිතාගෙන.



ඔයා හරි නරකයි කියාගෙන එයා උරහිස ඔළුවෙන් තවත් තද කළා.

ඔය ඇත්තමද පැටියො...කියන්න අනේ Please.... ?

“හරි,මට කියන්න මං මැරැණොත් ඔයා මොකද කරන්නෙ...හැබැයි බඳින්න කලින් හරිද?

''ඇයි බඳින්න කලින්..!“

හරි..හරි.. බඳින්න කලිං හරි බැන්ඳට පස්සෙ හරි..ඔයාට වචනයක් එහා මෙහා වෙන්න බෑනෙ කන්න වගේ බලනවා. හා දැන් කියන්නකො...

ම්ම්ම්....මංද...මං එක තප්පරයක් ජීවත් වෙන්නෑ. ඔයත් එක්කම මැරෙනවා."


"පිස්සු කෙල්ල මං නම් ඔයා මැරැන දවසට හොඳ පාටියක් දානවා. හැබැයි හත් දවසෙ දානෙට නං අනිවාර්යෙන් එනවා.මල ගෙදරනම් එන්නෑ..මොකද මල ගෙදරට ආවට කන්න දෙනවයැ.එන්නම් කන්න දෙනවනම් ''

"ඔයා වෙන කෙල්ලෙක්වත් යාළු කරගනී නේද...මාව අමතක කරලා එයාව බඳිනෙ නේද....''

නැතුව,මේ ලොකෙ තියෙන්නෙ එක මලක්යැ,ළඟ තියෙන මල මැරැණහම තව මලක් කඩාගන්නවා.

මං එහෙම කිව්ව ටිකක් සැර වැඩිද මන්දා..


ඒ කතාව එතනින් ඉවර වුණා. දිගු නිහැඩියාවත් එක්කම නුහ ගහේ නැළවිල්ල ආයෙත් පටන් ගත්තා. ඒ සැනසිල්ල විනාඩි කීපයකට සීමා වුණා.


චූටි සුදු මූණ රතු පාට ජම්බු ගෙඩියක් වගේ වෙලා. ඇස් දෙකෙන් නොනවත්වාම උණු කඳුළු බිංදු කඩාගෙන වැටුනෙ හරියට හිම කන්දකින් හිම කැට කඩාගෙන වැටෙනව වගේ. මෙතෙක් වෙලා උරහිසට දුන්නු බර අයින් කරන් ඈත ආකහේ කහ ගැහීගෙන එන වලාකුළකට හිත ගෙනිහින් වගේ. ආදරෙන් බදාගෙන ඉදපු අත මගෙන් ගිළිහිලා යද්දි ඒ වෙලාවෙ හැටියට මට දැනුනෙ තද දුකක්.


එයාගෙ මුණ අත් දෙකෙන්ම නොරිදෙන්න අල්ලලා ළං කරගෙන කඳුළු පිහදාද්දි පුංචි හිනාවක් මතු වුනෙ මං කලේ විහිළුවක් කියලා තේරිලා වෙන්න ඇති. මටත් නොදැනීම මගෙ හිත ආයෙත් අකීකරැ වුනේ ඒ සිනිඳු තොල් පෙති අල්ලද්දි.


මං විහිළුවක් කලේ රත්තරන්..., කියාගෙන මං ඒ සිනිඳු තොල් පෙති ආයෙම මගෙ කරගත්තා. විනාඩි කීපෙකට...! 



(ප.ලි 2012-02-19) අතීතය සිහිනයක් පමණයි කියන කියමන ඇත්තක් වෙමින් පවතින කාලයක මම මේ ලියමන ලියන්නෙ එයාගෙ හිත රිදවන්නවත් අපේ බැඳීම අනිත් අය ඉදිරියෙ අවමානයට ලක්කරන්නවත් නෙමේ. 

මේක කතාවක් ඒ කියන්නෙ මවාගත්ත එකක් නෙමෙයි කියන්න මට බෑ. ඇත්ත එයා මේක කවදාහරි කියෙව්වොත් මට බනියි. 

ඉතින් මට සමාවෙන්න රත්තරන්...!








06 December 2011

චක්‍රීකරණය මම දැකපු හැටි..!


පි කොයිතරම් චක්‍ර ගැන අහලා තියෙනවද?
පුංචිම කාලෙ ඉගෙන ගත්ත ජල චක්‍රය මතකද? ආ....එතකොට ඊට ටිකක් ලොකු කාලේ ඉගෙන ගත්ත නයිට්‍රජන් චක්‍රෙ,ඇයි කාබන් චක්‍රය......
 
විද්‍යාව මේ චක්‍ර උගන්නද්දි  ආගමෙන් අපිට උගන්වනවා "සංසාර චක්‍රය"
 

මං ඔය කිව්ව චක්‍ර ඉගෙන ගන්න සෑහෙන කාලෙකට කලින්, (ඒ කියන්නෙ පොඩි එකා කාලේ හරිද ) අම්මා උගැන්නුවා චක්කරේ. මතකයි දැනුත් චක්කරේ වැරද්දලා ඇනපු ටොකු එහෙම..

ඔය කාලේ සිද්ධ වුණු පොඩි සිද්ධියක් මතක්  වුණා මේ ළඟදි දවසක. ඒක මතක් වෙන්නත් හේතුවක් තියනවා. ඒවා පස්සට හොඳේ. මතක් වුණු වෙලාවෙම කියලා ඉන්නම්කො. නැත්තම් අමතක වෙනවා.
  


ඔය දවස් වල තමා අපේ ඉස්කොලෙ ඉතිහාසය මිස් පෘථිවිය ගැන කියලා දෙද්දි කිව්වෙ පෘථිවිය තමා වටේ චක්‍රීයව කැරකෙනවා කියලා. අංශක ගානක ආනතියකින්ලු කැරකෙන්නෙත් කියලා මිස් කිව්වා.

ඔය කතාව එදා මට හරියට තේරැනේ නෑ. ඔහොම කැරකෙනව නම් අපි කොහොමද මෙහෙම ඉන්නෙ? අපිවත් විසිවෙන්න එපෑ.මට හිතුනෙ එච්චරයි. (ඒ කාලෙ මට පොඩි නිසා,නැතුව මොළේ අඩුවක් පාඩුවක් හින්දා නෙමේ ඔන්න)

ඕක මං එදා දවසම කල්පනා කර කර ඉදලා ගෙදර ගිහින් අයියගෙන් ඔය ගැන අහලා බැලුවා.

"  ඇයි මලේ, හඳත් පෘථිවිය වටේ කැරකෙනවා නෙ''

ලැජ්ජා වෙන්නෙ මොකටද, මට මේ මොනවත් හිතා ගන්න බැරි වුණා ඒ දවස් වල. 

අයියා ඕක කියපුවහම මට හිතුණ එකම ප්‍රශ්ණෙ තමයි පෘථිවිය තමා වටේ කැරකෙද්දි කොහොමද හඳ පෘථිවිය වටේ කැරකෙන්නෙ කියලා.

පහුවදා ග්‍රහ ලොක ගැන ඉතිහාසය පාඩම.

" ළමයි, පෘථිවියයි,හඳයි ඒ කියන්නෙ අපි දෙගොල්ලොම ඉර වටේ චක්‍රීයව කැරකෙනවා. ඒ විතරක් නෙමේ අනිත් ග්‍රහ ලෝකත් චක්‍රීයව කැරකෙනවා ඉර වටේ."

මිස් බොඩ් එකේ ග්‍රහ ලෝක ඇඳලා පෙන්නුවා යාන්තමට වගේ මතකයි. ඒත් මට හරියට තේරැණ් නෑ. අනිත් ළමයිට තේරැණාද කියන්න මං දන්නෑ. මං අහන්න ගියෙත් නෑ.

කොහොමින් කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සෙ මං සෑහෙන්න ඔය ගැන හෙව්වා. දවසක් අයියගෙ පොත් මේසෙ තිබුණු විදුසර පත්තරේ පෝස්ටරයක ග්‍රහ ලෝක ගැන විස්තරයකින් මට ඔය කතාව හරියටම තේරැණා.
ඒ සිද්ධිය එතනින් ඉවර කරමුකො. දැන් කියන්නම් ඕක මතක් වෙන්න හේතුව.

මෙහෙමයි, අපේ තිස්ස සර්ගෙ Bio Class එකේ දුන්නු Tute එකක මෙන්න මෙහෙම කතාවක් තිබුණා. ඒක කියවපුවට පස්සෙ තමා මට අර කලින් සිද්ධිය මතක් වුණේ. ඔයාලටත් කියවන්න පහළින් දාන්නම් ඔන්න.


අපි කොයිතරම් චක්‍ර පිළිබඳව අහල තියෙනවද? පුංචිම කාලෙ ඉගෙන ගත්ත ජල චක්‍රය මතකද?එතකොට නයිට්‍රජන්  චක්‍රය,කාබන් චක්‍රය......
විද්‍යාව මේ චක්‍ර උගන්නද්දි  ආගමෙන් අපිට උගන්වනව "සංසාර චක්‍රය".බලාගෙන ගියාම අපේ මහපොළොව තමා වටේ කැරකෙනවා.එහෙම කැරකෙද්දි හඳ අපේ වටේ කැරකෙනවා.ආයෙමත් අපි දෙගොල්ලොම ඉර වටා චරක්‍රීයව කැරකෙනවා.අපේ සූර්යයත් එක්ක මුළු ග්‍රහ මණ්ඩලයම විශ්වය තුළ කැරකෙනවා.
ඒ විතරක් නෙමෙයි.කැරකෙන පෘථිවිය උඩ අපි එහෙ මෙහෙ කැරකෙනවා.අපි එහෙම කැරකෙද්දි අපේ ඇගේ තියෙන සෛල වල සෛල ප්ලාස්මය න්‍යෂ්ටිය වටේ කැරකෙනවා.
ඒ නිසා චක්‍රීයකරණය කියන්නෙ විශ්ව ධර්මතාවයක්.සෛල වලත් සෛල චක්‍රය කියලා ක්‍රියාවලියක් තියෙනවා.


ඊට පස්සෙ තියෙන්නෙ සෛල චක්‍රය ගැන විස්තරයක්.ඒක ඕනෙ නෑනෙ නේද.


ඔයාලටත් හිතන්න යමක් තියෙන්න පුළුවන්.ඒ නිසයි මේ Post එක ලිව්වෙ ඔන්න. 



චක්‍රීකරණය කියන්නෙ විශ්ව ධර්මතාවයක්. 
ඒක ඔයාට, මට, අපි හැමෝටම පොදු දෙයක් .

04 December 2011

මගේ ගැලවුම ඔයයි රත්තරං


කාන්ති miss ගේ
හෝඩියෙන් පටන්ගත්
පලමු රචනා ප්‍රශ්ණය
ප්ලාස්ම පටලය වූ,
150 න් 135 ක්ම ගන්න
අනිත් අයට අමාරැ වුනත්
මම හදින්ම ආලය කළ Bio ....
1st shy එකේ ගැලවුම
ඔයයි රත්තරං....

03 December 2011

ජීවිතේට ආදරෙන්..!

 
"අපි අපි වගේ" Blog එකට අලුතින් එකතු වෙන විශේෂාංගය තමයි මේ. ජීවිතේ දිහා වෙනස් විදිහකම බලන්න ගන්න උත්සහයක් කියලා කිව්වොත් හරියටම හරි .





" ඔයා තව සති දෙකකින් මැරෙනවා.ඒක නවත්තන්න කාටවත් බෑ.මරණයට ලෑස්ත වෙන්න."

ඔයාට පිළිකාවක් හැදිලා ඩොක්ට කෙනෙක් ළඟට ගිය වෙලාවක ඩොක්ට ඔයාගෙ ලෙඩේ පරික්ෂා කරලා බලලා එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන එය විදිහට කිව්වොත් ඔයා මොකද ඊට පස්සෙ කරන්නෙ.


මෙහෙම කිව්වට ඔයාට ඒක ගැන කිසිම හැඟීමක් නැතුව ඇති. එහෙම දෙයක් වුණාම තමයි මිනිස්සු වෙන අපි හැමොටම තේරෙන්නෙ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ. ඒක මිනිස්සුන්ගෙ හැටි.


මීට හරියටම අවුරැදු 38 කට කලින් මේ කලින් කියපු විදිහට ඩොක්ට කෙනෙක් තමන් ළඟට ආව පිළිකාවක් හැදිලා තිබුණ ලෙඩෙක්ගෙ මූනටම කිව්වා. ඇත්තටම කිව්වයි කියන්න බෑ. ඒ ලෙඩා තමයි ඇහුවෙ දවස් කියකින් මම මැරෙනවද කියලා. ඉතින් ඩොක්ට ට නොකියා ඉන්න බැරි වුණා.


ඔය කියපු ලෙඩාට තිබුණෙ දුලබව හමුවන පිළිකාවක්. 1974 දි විතර තමයි ඔය පිළිකාව හැදිලා කියලා හොයාගත්තෙ. 1975 ඒ කියන්නෙ පිළිකාව හොයා ගෙන හරියටම අවුරැද්දකට පස්සෙ දකුණු කකුල කපන්න සිද්ධ වුනා. ඒ පිළිකාව පැතිරෙන එක වළක්වන්න.


මේ ලෙඩා තමයි ඉයන් ගෝලර්. අහලත් ඇති. දක්ෂ ඉසව් දහයේ මලල ක්‍රීඩකයෙක්. ඒ කාලේ ලෝකෙම දන්න ප්‍රසිද්ධ කෙනෙක්.


මේ පිළිකාව හැදෙද්දි ඉයන් ගෝලර් අවුරැදු 26 වයස තරැණයෙක්.


මේ විදිහට එයාගෙ ඩොක්ට කිව්වහම එයාට මොනවා හිතෙන්න ඇද්ද. ඒක දන්නෙ එයා විතරයි.
ඉයන් නෙමේ පරාජය බාරගත්තෙ. සුවපත් වීමේ විශ්වාසයයි එයාගෙ හිතේ තිබුණු බලාපොරොත්තුයි එයාගෙන් ගිලිහුනෙ නෑ. මේ කාලෙ නම් ඔහොම දෙයක් කොල්ලෙක්ට වුණොත් ඒක දැන ගෙනම මැරෙයි. ඒත් ඉයන් එක එක විදිහෙ අත්හදා බැලීම්,ආධාත්මික ප්‍රතිකාර විධි වලින් එයාව මරන්න හදපු පිළිකාව මරලා දැම්මා.


1978 ජූනි මාසෙ වෙද්දි එයා පිළිකාව පරාජය කලා වගේම ජීවිතේ දින්නා.

හිතන්න...ඔබම  ඔය දුවන හිත ටිකකට නතහ කරලා.ජීවිතේ දිනන්න ඒ ටිකත් ඇති සමහර විට. මෙතනින් අදට නතර වෙන්නෙ ඔයාට හිතන්න දෙයක් ඉතුරැ කරලා කියලා හොඳට මතක තියාගනී කියලා මම විශ්වාස කරනවා.

                                   


.